
පූසා නැගිට්ටේ ය. උක්මලක් මෙන් වලිගය පුම්බා ගත්තේ ය. කුරුමානමක් ඇල්ලුවේ ය. රූස්ස ගහේ බිමට නැමුණු අත්තක් දිගේ දිව ගියේ ය. ටිං ටිං ගාමින් පැන යන ලේනා බඩවතින්ම අල්ලා ගත්තේ ය. ජයග‍්‍රාහීව මුත් සැකමුසුව බිමට බැස්සේ ය. අඩපණ කළ ලේනා බිම හෙළුවේය. උඩ පනිමින්, කරණම් ගසමින් සෙල්ලම් කළේ ය.
ලේනාගේ ජීවිතය වෙනුවෙන් මට කළ හැකි කිසිවක් නැති බව මම දැන සිටියෙමි. පූසා පළවා හැරීමට මා ඉක්මන් නො වූයේ ඒ නිසා ය. ‘කාලකණ්ණියා’ යි මට කියවිණ. එහෙත් තත් නිමේෂයකදී අවිඥානිකව මා තුළ සැගව සිටි කිසිවකු හඬනගා කීවේ, ‘ ඕකා වාසනාවන්තයා’ යි කියා ය. මම මොහොතක් ඌ දෙස බලා සිටියෙමි. රටාවකට වැටුණු වයිරම හැරුණු විට උගේ කිසිම අමුත්තක්, විශේෂයක් වූයේ නැත. ඌට ඇත්තේ හීන්දෑරි සිරුරකි. වයිරම් පූසා ලේනුන්, මීයන් අල්ලාගෙන කන්නේ අනුන්ගේ ඉදුල් වලින් පමණක් කුස පුරවා ගත හැකි නො වන නිසා ද? නැතහොත් ස්වභාව ධර්මය පූසෙකුට තිළිණ කළ විසේකාර දාංගලය සංසිදුවන්නේ මේ දඩකෙළිය විය හැකි ද?
කෙසේ වුවද පූසා වෙනුවෙන් අලූතින් සිතා බලන්නට මගේ සිිත මට බලකරමින් සිටියේ් ය. ඒ කුමක් නිසා දැයි මම දැන නො සිටියෙමි. ගිනියම් අව්වේ පූසා දෙස බලා සිටි මගේ දෑස් රිදෙන්නට වූවේ ය. කිතුල් පැණි බෝතලය වටා රොද බැඳගත් කෝදුරුවන් පළවා හරිමින් මා සිතුවේ වයිරම් පූසා දෙස මා එතරම් වේලාවක් බලා සිටියේ කුමක් නිසා දැයි කියා ය. අහඹු සිතුවිල්ලක්, ආගන්තුක මනෝභාවයක් මගේ සිිතට අරක්ගෙන තිබිණි. පොඞ්ඩ බැරි වෙනකොට හොරා කන, ඒ තරමටම ගුටි කන වල්සතා ‘වාසනාවන්තයෙකි’ යි මට සිතුණේ කෙසේ ද? කුමක් නිසා ද?
මම හෙමින් හෙමින් මගේ මතක ලිපිගොනුව දිග හරිමි. පරිස්සමින් පිටු පෙරළමි. නිසැක ය. මගේ සිතේ එල්ලීගෙන, පැල් බැඳගෙන ඉන්නට ඇත්තේ ‘ජූලී’ ය. ‘ජූලී’ යනු කළු සුදු දුඹූරු මිශ‍්‍ර වර්ණ බැළලියකි. ඇය නියෝජනය කරන පැළැන්තිය සුපිරිය. වයිරම් පූසාට වඩා තුන් ගුණයකින් පමණ ඇය ලොකු ය. තරබාරු ය. අධිපෝෂණයේ ප‍්‍රතිඵල ඇගේ ඉහින් කනින් බේරෙයි. ‘ජූලී’ කවදාවත් මිනිසුන්ගේ කෑම කන්නේ නැත. ඇයට මිනිස් කෑම ලැබෙන්නේ ද නැත. හාම්පුතුන් විසින් ජූලීට සපයනු ලබන විශේෂිත ආහාර, මළුවල අසුරා තිබේ. ඒවා හොවා ඇත්තේ ඇයටම වෙන්වූ අල්මාරියේ ය. ඇගේ හාම්පුතුන් වන්නේ මගේ කුඩා පුතු හිමාන්සු හා ඔහුගේ බිරිය අනුත්තරා ය.
ජූලීට වෙන්වුණ සෙල්ලම් බඩු හා ප්ලාස්ටික් බෝල රාශිය වරින්වර මට සිහිවෙයි. එහි මීයෝ තිදෙනෙක් ද සිටිති. ඒ මීයෝ ද දුවති. පනිතිි. කී.. කී.. කියා හඬති. එහෙත් උන් ජීවයෙන් තොර ය. කෘත‍්‍රිම ය.
ජූලී සිටින්නේ සත්සමුදුරින් එපිට ය. ඇමෙරිකානු මහාද්වීපයේ ය. ටෙක්සාස් ප‍්‍රාන්තයේ ගැල්වෙස්ටර්න්හි ය. හියුස්ටන් ගුවන්තොටුපළින් බැස අඩපැයක් දුර ගෙවා ජයසේනත් මාත් ගැල්වෙස්ටර්න් බලා ගියේ හත් අවුරුද්දකින් නො දුටු අපේ පොඩි පුතුගේ මුහුණ දැකගැනීමට ය. ඒ යසඉසුරු බලා සතුටු වීමට ය. එහෙත්….?
මගේ ජීවිතයේ මුල්ම ගුවන් ගමන වූයේ ඒ ය. වලාකුළුවලට ඉහළින් ගමන් කළ අපේ ගුවන් යානය පැය ගණනාවකට පසු විරාමයක් සඳහා සිංගප්පූරු ගුවන්තොටුපළට ගොඩබට අයුරු මට සිහි වේ. ඒ මොහොතේ දුටු මහමුහුද මට පෙනීගියේ රළු සිමෙන්ති තලි යෙදූ සමතලා නො කළ පොළොවක් මෙනි. සාගරයේ දිය සෙළවුණේම නැති තරම් ය. සිමෙන්ති පාට ජලයේ තැන් තැන්වල නැංගුරම් ලූ නැව් දුටු මම, කුඩා හිමාන්සුට මා සාදා දුන්කඩදාසි ඔරු උපකල්පනය කළෙමි.
ගුවන්යානය පිටත් වන්නට කල්වේලා තිබූ නිසා අපි සිංගප්පූරු ගුවන්තොටුපළ තුළ පිහිටි ‘ඩියුටි ෆ්‍රී’ සාප්පු සංකීර්ණය ඔස්සේ තේරුමක් නැති ගමනක යෙදුණෙමු. අපූරු අත්ඔරලෝසුවක් හිමාන්සු වෙනුවෙන් මිලදී ගන්නට මා යෝජනා කළ විට ජයසේන උපහාසයෙන් සිනාසුණේ ය.
“ඔයාට පිස්සු ද? ඕව මොනව ද? ඕව ඒගොල්ලන්ට සෙල්ලම් බඩු”
ගුවන්තොටුපළේ අසිරිය මම බොහෝ වේලාවක් තිස්සේ නිරීක්ෂණය කළෙමි. අප එකතැන කැරකෙමින් සිටියදී ලෝකය අප පසුකර කොතෙක් දුර ඇදී ගොස් ඇද්ද කියා මට සිතුණේ ය. සාප්පු සංකීර්ණය වෛවාරණ බඩු භාණ්ඩ වලින් පිරී තිබිණි. එහෙත් ඒවාට එතරම් ඉල්ලූමක් නැත්තේ හිමාන්සු පුන පුනා කියන ලෝකයේ ආර්තික අවපාතය හේතුවෙන් වන්නට ඇතැයි මට සිතිණ. ගුවන්තොටුපළ තුළ එහා මෙහා ඇදී යමින් තිබූ අපූරු කුඩා කාර් විශේෂය කුමක් දැයි මට තෝරා බේරා දුන්නේ ජයසේන ය. ඒවා භාවිත කෙරෙන්නේ ආබාධිතයන් සඳහා යොදා ගැනෙනා රෝදපුටු වෙනුවට යැයි ඔහු කීවේ ය.
රාජ්‍ය සේවයේ ‘සුප‍්‍රා’ වැට තරණය කොට සහකාර ලේකම් තනතුර දක්වා අනුක‍්‍රමයෙන් ඉහළට නැගුණු ජයසේන කිහිප වරක් එතෙර සංචාරයන්හි යෙදී තිබුණ ද ගුරු වෘත්තියෙන් පරිබාහිර වූ සියලූ ගමන් බිමන් මට අකැපව තිබිණ. ලොකු දූ අමිලාත්, මද්දුමී නිලූකාත් සමග කුඩා හිමාන්සු ලොකු මහත් කිරීමට අපි මහත් වූ ජ්වන අරගලයක යෙදී සිටියෙමු. පවුලේ බඩපිස්සා මෙන්ම එකම පිරිමි දරුවා ද වූ හිමාන්සු ජයසේනගේත් මගේත් ජීවිත කාලයෙන් වැඩි කොටසක් උදුරාගත්තේ යැයි ද අප ඉපයූ ධනයෙන් ඉහළම ප‍්‍රතිශතයක් සොරාගත්තේ යැයි ද කීම සාහසික ප‍්‍රකාශයකැයි මම නො සිතමි. විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ වැඩිම ලකුණු ලැබූ ශිෂ්‍යයා වශයෙන් අපට ද ගෞරවයක් හිමිකර දුන් හිමාන්සු සරසවියෙන් පිට වූ සැනින් වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවකව සිටි අනුත්තරා සමග ගිවිස ගත්තේ ය. සුප‍්‍රකට වෛද්‍ය විශේෂඥයෙකුගේ දියණියක වූ අනුත්තරා තුළින් හිමාන්සුට ලක්‍ෂ්මිය පහළවනු ඇතැයි අපි සිතුවෙමු. එය යථාර්තයක් බවට පත්වෙනු බලා අපි උද්දාමයට පත් වුණෙමු.
හිමාන්සුත්, අනුත්තරාත් ඇමෙරිකා මහාද්වීපය බලා පියාසර කළේ තරුපහේ හෝටලයක පැවති ඔවුනගේ විවාහ මංගල්‍යයෙන් සත්වන දිනයේ ය. පාළුව, සාංකාව හා වේදනාව වසංකරගෙන අපි පුතුට හෘදයාංගමව සුබ පැතුවෙමු. අප අමන්දානන්දයට පත් වූයේ, ජයසේනගේ හෝ මගේ සනුහරේ කිසිවකුටත් කළ නො හැකි වූ වික‍්‍රමයක් කිරීමට හිමාන්සුට හැකිවීම නිසා ය.
මේ හොහොතේදි මා තුළ දෙගිඩියාවක් පහළ වී ඇත්තේ මේ වික‍්‍රමය පිළිබඳව ය. හිමාන්සුට කිසිදු අඩුවක් පාඩුවක් සිදු වී නො මැති බව නම් මට නිසැක ය. පුතුගෙන් ජයසේනට හෝ මට මදි පුංචිකමක්, නොතකා හැඣිමක් සිදුවූයේ ද නැත. හිමාන්සු දැන් ඇමෙරිකානු පුරවැසියෙකි. වචනයේ පරිසමාප්තාර්තයෙන්ම වියතෙකි. ඔහුගේ ඇදුම් බැදුම් ඉරියව් බෙහෙවින් සමාන වන්නේ ද ඇමෙරිකානුවෙකුට ය. එහෙත් ඔහු පදවන්නේ අපූරු ජපන් වාහනයකි. අනුත්තරාගේ වාහනය ද ජපන් ය.
මේ වාහනවල නැගී පුරා විසිඅට දවසක් මුළුල්ලේ අප සැරිසැරුවේ සිහිනයක දැයි මට සිතෙන්නේ දැන් ය. කාලකළමනාකරණය පිළිබඳව සරසවි සිසුනට දේශන පවත්වන පුතු කාලය නො තකා අප විශාල සාප්පු සංකීර්ණ කරා, අවන්හල් කරා රැගෙන ගියේ ය. මොන්ගෝලියානු, උතුරුඉන්දියානු, දකුණු ඉන්දියානු, වියට්නාම, චීන හා අමෙරිකානු පාන වලින් අපට සංග‍්‍රහ කළේ ය. බොහෝවිට ජයසේනත් මාත් සිනී නො යෙදූ දොඩම් වීදුරුවකින් සැනසෙද්දී ඔවුහු විශේෂිත අයිස්කී‍්‍රම් ව්ර්ග සමග ගුලාබ්ජාබි රස බලමින් සන්තෝෂ වූහ.
එහෙත්….?
“පුතාගේ මොකවත් වෙනසක් පේන්නේ නැද්ද ඔයාට?”
දිනක් මා ජයසේනගෙන් එසේ ඇසුවේ දිවා කල කාන්සිය මගහැර ගැනීම සඳහා හිමාන්සුගේ නිවස පිහිටි පටු මාවතේ කෙළවර වූ වැව කරා ඇවිද යමින් සිටියදී ය. මගේ ප‍්‍රශ්නය තේරුම් නො ගත් ආකාරයේ බැල්මක් හෙළුව ද ජයසේනගේ ඇහිපිය නැටුවේ ය. මේ සංඥාව බොහෝ විට මා දැක තිබුණේ ඔහු අසීරුවට පත් වූ විට ය.
“ඔව් ඉතිං මිනිහ ටිකක් ආරලා, වෙන මොකද්ද ඉතිං?”
මා නිහඬව පසුවූයේ කිවයුත්ත එකඑල්ලේ ගලපා ගත නො හැකිව ය. මගේ ඍජු පිළිතුර වචන බවට පත් වූයේ නම් එය එළිදැකිය යුතුව තිබුණේ “පුතා දැං හිනාවෙන්නේ කළාතුරකින්, දරුවගෙ හිනාවට මොනව වෙලා ද?” යනුවෙනි. එහෙත් මම පාෂාණිභූතව සිටියෙමි. වයස්ගත ඇමෙරිකානුවෙක් සිය රෝගී බිරිය නංවාගත් රෝද පුටුව තල්ලූ කරගෙන සිනාසෙමින් අප පසු කර ගියේ ය. අහේතුක ශෝකයකින්, පාළුවකින් මගේ සිත හෝදාපාළු වී තිබිණ. ඉවක් බවක් නැති ගමනක යෙදෙමින් යකා බැඳගත්තාක් මෙන් වැඩකළ ද හිමාන්සු ගැඹුරු උදාසීනත්වයක ගිලී සිටින බව ඒ වන විට මට පෙනී ගොස් තිබුණේ ය.
“ඒ දරුවගෙ ඉස්සර වගෙ සෙල්ලක්කාර කමක් නෑ. ටිකක් කම්මැලි වෙලා ද මන්දා” යි මම වා මඬලට කනිපින්දම් කීවෙමි.
“මිනිහ ඉස්සරට වැඩිය ටිකක් තැන්පත්. එච්චරයි” යි ජයසේන අහස දෙස බලමින් කීවේ ය.
“කොහොමටත් බුද්ධිය මෝරන කොට මිනිහෙකුට පොඩි උදාසීන කමක් දැනෙනවා. ඉස්කෝලේ ටීචර්ලට නං එහෙම නැතුව ඇති” යි අනතුරුව ඔහු සිනාසෙමින් කීවේ මා ද සිනහ ගන්වන අටියෙන් මෙනි.
“ඒත් ඒකට කියන්නේ කම්මැලිකම කියල නෙවෙයි”
“එහෙනං?” යි මා ඇසුවේ නැත. එහෙත් යළි ගම රට කරා පැමිණි පසුවද, අද වනතුරු ද මා යෙදී සිටින්නේ මේ උදාසීනත්වය තේරුම් ගැනීමේ උත්සාහයක ය.
යළිත් වරක් කෝඳුරුවන් පලවා හරින මම කිතුල් පැණි බෝතලයේ මූඩිය බුරුල් කර හරිමි. පෙණ උතුරණ පැණිවල නැවුම් සුවඳ මට දැනෙයි. උදෑසනින් ම කොණ්ඩා කැවුම් බදින්නට එන බව කී සිරිනි අක්කා තවමත් නැත. කැවුම් මිශ්‍රණය ඒදන්නටත්, බදින්නටත් හොදින් දන්නා මා නොදන්නේ කැවුම් කොණ්ඩය ගන්නටය. අවුරුදු උදාවට තව ඇත්තේ දෙදිනකි.
සිරිනි අක්කා එනතුරු දර ළිපේ අළු අරන් දමා එකලස් කර ගත යුතු යැයි මට සිතේ. ලිප් බොක්කේ වක ගැසී නිදන වයිරම් පූසා යළිත් වරක් මට පෙනී යයි. නිමේෂයක් තුළ මට යළිත් වරක් සිහිවන්නේ ජූලී ය. ජූලීට වෙන්වුන අපූරු යහනාව ය. ඒ සුදු මුදු සයනයේ කිසියම් තැනක බොකු ගැසුන කොටසක් ද තිබේ. බොහෝවිට ජූලි සුව නින්දකට වැටෙන්නේ මේ බොක්කට රිංගා ගනිමිනි. බළලුන්ට ඇත්තේ ගුලිවී උණුසුම් වී නිදා ගැනීමේ හුරුවකි. සම්භාවිතාවකි. අලංකාර ඝන පොරෝනයක් ද ජූලිට ලබා දී ඇතත් එය ඇය සුවපත් කළේ දැයි මා දන්නේ නැත. අනුත්තරා පරිස්සමින් එය ජූලිගේ සිරුරේ දැවටූ සැනින් ඇය එය ගසාබසා දමා අලුත් ඉරිව්වකට මාරු වෙයි. උදෑසනින් පිටව යන සිය හාම්පුතුන් පසුපස හඬමින් ඇදීයන ජූලී අනතුරුව ජනේලය අසල වන කුඩා පුටුවකට නැඟී වසා ඇති වීදුරු ජනේලයෙන් අවට ලෝකයේ අසිරිය නරඹයි. මිදුලේ මල් පැල වටා බමන බඹරුන් සමනලුන් දෙස ඇය ආශාවෙන් බලා සිටී. වයිඑම් පූසා බොහෝ විට මට සිහි වූයේ ජූලී කාන්සියෙන් පසුවන එවැනි අවස්ථාවන් හිදීය. අමු මාළු, මාළු කටු කමින්, සැමන් වතුර සමඟ පාන් බත් බුදිමින්, අනුන්ගේ පිඟන්වල ඉතුරු වන ඉඳුල් බත් වලටද වග කියමින් පළාතටම චන්ඩියෙක් වී සිටින වයිරම් පූසා මීයන් මෙන්ම කුරුල්ලන් ද හඹා යයි. නිශාචරයෙක් මෙන් රැය පුරා ගම වටා යන ඌ උදේට අප සොයා පැමිණෙන්නේ බඩගිනි දැනුන විට ය.
මගේ මුවින් දීර්ඝ සුසුමක් පිට වේ. අවිනිශ්චිත ලෙස එය වාමඬලට මුසු වේ. කාක්කෙක් හඩ තලන්නේ දොරකඩ අඹ ගසේ සිට ය. කාක්කන් නැතත් ටෙක්සාස් ප්‍රාන්තයේ ද කුඩා කළු පැහැති ඇටි කුකුළාට සමාන පක්ෂි වර්ගයක් සිටී. උන් හඬ තලනු කවදත් මට ඇසී නැත. කාක්කෙක් ‘කරව්’ කරන්නේ අමුත්තෙකුගේ සම්ප්‍රාප්තිය සන්නිවේදනය කිරීමට යැයි අප තුළ විශ්වාසයක් වෙතත්, දියුණු ඇමරිකානුවෝ එවැනි දුර්මත නො දරති.
දියුණුව…? දුර්මත…?
දුර්මත හට ගන්නේ බුද්ධිය මුහුකුරා නො යන තැනදැයි මම සිතා බලමි. දුර්මත පහළ විය හැක්කේ ලෝකය වටහාගත නුහුණු තැන ය. ලෝකය අභිරහසක්ව පැවති යුගවලදී මිනිස්සු ගස් ගල් වලට වන්දනා කළහ. මිනිසුන් වඩා සතුටින් ජීවත් වූයේ අභිරහස් ඉතුරු කරගත් යුගවල දී ද?
අතොරක් නැතුව හිනැහුණු තොරතෝංචියක් නැති ප්‍රශ්න වලින් මට කරදර කළ හිමාන්සුගේ ළමාවිය මට සිහිවේ. කුඩා දරුවන් සතුටින් සිටින්නේ ඔවුන්ගේ ලෝකය අභිරහස්වලින් පිරි ඇති නිසා විය හැකිද? පොඩි දරුවෝ තමන් අසන දකින සියල්ල ‘කරුණු’ බවට ලඝු නොකරති. පොහොට්ටුවක් මලක් බවට පත්වීම, හිරු දෙස බලා මල නගන සිනහව, මද සුළඟට සැලෙන මලේ නර්තනය කුඩා දරුවාට අභිරහසකි. වත්තේ නිදිකුම්බා පඳුරු පාදයෙන් මඩිමින් අම්මේ මෙන්න මේ ගස් නිදා ගන්නවා’ කියමින් හිමාන්සු මහ හඬින් නැගූ සිනාව ඒ මතකය මගේ සිත කීරිගස්වමින් මතුව නැගේ. මගේ සිත බර වී යන්නේ කුඩා හිමාන්සුගේ ඒ ළදරු සිනාව කොහේ සැඟව ගියේ දැයි සිතාගත නොහැකි වන නිසා ය.
මිදි වත්තක් මැද පිහිටි, සාම්ප්‍රදායික ආකාරයට වයින් පෙරන මධ්‍යස්ථානයක් නැරඹීමට වරක් හිමාන්සු අප රැගෙන ගියේය. ඒ අපේ ආපසු ගමන ට කලින් දිනයේ ය.
“අපරාදේ අම්මට තව මාසයක් වත් ඉන්න තිබුණා. ෆයින් ආට් මියුසියම් එක වත් බලන්න බැරි උනා නේ?” යි කම්හල නරඹා ආපසු එමින් සිටියදී හිමාන්සු කීවේ ය.
“කොහොමද පුතා අවුරුද්දට කලින් අපි ගෙදර යන්න ඕන නේ”යි මම කීවෙමි.
“හැබෑ ද? මේ පාර අවුරුදු අවුරුදු කුමාරයා අම්මලාගේ ගෙදරට වඩින්නේ කීයට ද?” යි හිමාන්සු උපහාසයෙන් ඇසුවේය. එතෙකුදු ඒ මුහුණේ සිනාවක් තිබෙනු මම නොදුටුවෙමි.
“සල්ලි තියෙනවා නං ඉතිං හැමදාම අවුරුදු තමයි අම්මේ” හිමාන්සු අනතුරු ව උදාසීන ලෙස කීවේ ඉවත බලා ගනිමිනි. ඔහු තුළ ඉතා සියුම් බියක් වේදනාවක් නලියමින් ඇති බවත්, ඒ වනවිට මම හඳුනාගෙන සිටියෙමි. එහි හේතු සාධකය වූයේ ලෝකයේ ආර්ථික අවපාතය ය.
වාහනය තුළ වායුසමනය දරාගත නොහැකි වූ මම, සාරි පොටින් රැකවරණයක් පැතුවෙමි. පිටත මද වැස්සක් ඇදහැලෙමින් පැවති අතර අහසෙහිද වූයේ අඳුරකි. සංඥා පුවරු අසල පොද වැස්සට තෙමෙමින් හිඟමන් යදින ඇමරිකානු හිඟන්නන් මා තුළ අවිනිශ්චිත හැඟීමක් ජනිත කළේය. I am Homeless – Please Help me යනුවෙන් ලියවුන දැන්වීම් පුවරුව අල්ලාගෙන සිටි හැඩිදැඩි ඇමෙරිකානුවාත් I am hungry I have no money යන්න සටහන් වූ පුවරුව ඔසවාගෙන සිටි වියපත් මිනිසාත් මා තුළ ජනිත කළ හැඟීම බොහෝ දුරට හුරු හුරුවූයේ බියකට ය.
“පුදුමයි. මං හිතුවේ නැහැ, මෙහෙත් හිඟන්නෝ ඇතියි කියලා” මට කියවුනේ ඉබේටම ය.
“එහෙම තමයි. කොහෙත් හිඟන්නො ඉන්නවා” යි හිමාන්සු කීවේ ය.
“හැබැයි වින්ටර් එකේදි මෙහෙ හිඟන්නන්ට හිඟා කන්න බෑ. අම්මා දන්නෙ නෑ, සීත කාලෙට මෙහෙ අතපය ගල් වෙන හැටි.”
“එතකොට මේ හිඟන්නෝ?”
“ඒගොල්ලන්ට ආණ්ඩුවෙන් වෙනම තැන හරිගස්සලා තියෙනවා. හිඟන්නා ටික පෝලිං ගස්සලා ගණන් කරලයි ඇතුල් කරන්නේ. පෝලිමෙන් රිංගලා යන්න දන්නැති අය එළියෙ සීතලේ ගැහි ගැහී බලා ඉන්නවා.”
තුන්සිය හැටපස් දවස පුරාම හිඟමන් යදින ගහක් යට හෝ කඩ පිළක නිදා ගැනීමට වරම් ලබන අපේ හිඟන්නන් ඇමෙරිකානු හිඟන්නන් සමඟ සැසඳූ මම, සැණෙකින් ඒ සිතුවිල්ලට සමුදුන්නෙමි. මගේ සිතට අහේතුක අවිනිශ්චිත බියක් හැඟෙමින් තිබිණ. වයිරම් පූසා මා අළු ගොඩින් පන්නා හැරියේ යළිත් වරක් ඌ ජූලී සමග සංසන්දනය නො කරමි යි අධිෂ්ඨාන කර ගනිමිනි.
සිරිනි අක්කා පැමිණෙනු දුටු මා තුල ක්ෂණික ප්‍රති ප්‍රමෝදයක් උතුරා ගියේය. පැණි බෝතලයේ යළිත් වරක් රොද බැඳ ගනිමින් සිටි කෝඳුරුවන් මම තුන් වැනි වරට ද පලවා හැරියෙමි. ඇහේ කුණක් මෙන්, නරක් වූ දතක් මෙන් මා තුළ වේදනාකාරී සිතුවිල්ලක් කැවෙමින් තිබුණේය. මා මැදි ව සිටියේ, ලෝකය අභිරහස් වලින් තොර කිරීමේ විද්‍යාත්මක ප්‍රයත්නය විසින් උදුරා ගනු ලැබුවේ මිනිසාගේ සතුට ද? යන උභතෝකෝටිකයටය. පැවැත්මේ අබිරහස නිරාකරණය කරගැනීම මිනිසාට අර්ථවත් දැයි මා ජයසේනගෙන් ඇසුවොත් ඔහු මට සරදම් කරන බව, සිනාසෙන බව මම හොඳාකාරවම දනිමි.
එහෙත් මේ තිත්ත ඇත්ත පිටු දැකීමට මට තවමත් හැකි වී නැත.
කැත්ලීන් ජයවර්ධන
❤️wow, interesting story and reveal the reality…
LikeLike
✨
LikeLike