ශිශිර තරණය

හිතාදර රිෂී,

අවස්ථාවාදියෙකු, දෙපිටකාට්ටුවෙකු, වංචනිකයෙකු හා සළලෙකු ලෙස මට අවලාද නගමින්, ආක්‍රෝෂ පරිභව කෙරෙමින් ඔබ එවූ ලිපි සියල්ල කුඩා පළිඟුවක බර දරමින් මගේ මේසය මත වෙයි. මා අවස්ථාවාදියෙක් ද? දෙපිටකාට්ටුවෙක් ද? වංචනිකයෙක් ද? යන ප්‍රශ්න තවමත් මම මා වෙතින්ම නගමි. මේ මොහොතේදීත් මා දවමින් තවමින් ඇති උභතෝකෝටිකය නම් ඒ ය.

එහෙත් මා අවස්ථාවාදී වංචනිකයෙකැයි සිතන්නට, තීරණය කරන්නට ඔබට ඇති ශුද්ධ වූ අයිතියට ද මම ගරු කරමි. ඔබ තුළ මෙන්ම ඔබේ මව තුළත් මුළුමහත් ජන සමාජය තුළත් මා පිළිබඳව මේ මොහොතේ ඇඳී ඇති පැහැදිලි සිතුවම නම් ඒ ය.

එක් අතකින් ‘මම වැරදිකරුවෙක් නොවෙමි’ දැයි සිතන්නට මට අනුබල දෙන්නේ මේ සියලු සියලු ගනුදෙනු හා සහසම්බන්ධ සවනට මුලපිරූ පුද්ගලයා මා වන නිසාය. සැබෑය. ඔබේ ජංගම දුරකථනයට මුලින්ම ඇමතුමක් ලබා දුන්නේද මා ය. ඔබ විපිළිසර වූයේ මගේ හඬ ඔබට නුහුරු නුපුරුදු වූ නිසාය.

‘ ශෂී….? ‘ කවුද ශෂී කියන්නේ? ‘ යි ඔබ ඇසුවේ කෝප සහගතව උද්දච්ච ස්වරයකින් බව මට මතකය. තරමක් දුරට ඔබ සන්සුන් වූයේ මා මාගේ අවශ්‍යතාවය පැහැදිලි කිරීමෙන් අනතුරුවය. මගේ යටි අරමුණ ඔබ වෙත කාන්දු කරද්දී මා එතරම්ම නිහතමානී සහ ආචාරශීලී වූයේ එය ව්‍යාපාරික කටයුත්තක් හා බැඳී ගත්තක් වූ හෙයිනි. අවසානයේදී “හරි බලමු” යි ඔබ කියද්දී ඔබේ ස්වරයෙහි වූයේ ආරම්භයේ පැවති කෝපයේත්, මානයේත් හුළං බැස ගිය ස්වභාවයකි.

‘ඔයාලගේ ෆිනෑන්ස් කම්පැනි එක කොතනද තියෙන්නේ ?’ යි ඔබ ඇසුවේ දෙවන වරට මා ඔබේ දුරකතනයෙන් ඇමතූ අවස්තවෙහි ය. අභිප්‍රාය ඉටුවීමේ ඉහවහා ගිය සතුට මට දැනිණ. ඔබේ ඒ ප්‍රශ්නය මට සන්නිවේදනය කළේ අප හා ගනුදෙනු කිරීමට ඔබ සුදානම්ව ඇති බවය. කෙසේ වුවද ඔබ වඩාත් ආසක්ත වූයේ මගේ ස්වරයට ද? කතා ශෛලීයට ද? ඒ සැම තුළින් මතු වූ තාරුණ්‍යයට ද? ශෂී යන නමට දැයි මමම තවමත් නො දනිමි. රිෂී….? ශෂී….? ඇතැම්විට අවිඤ්ඤාණිකව මේ සියල්ල ඔබට බලපෑම් කළ බවක් සිතන්නට ද ඉඩ තිබේ. එහෙත් මා  එසේ ඇමතුවේ ඔබ පමණක් ය, යන ආකල්පය ඔබ දරා සිටීම සම්බන්ධයෙන්  නම් මට කළ හැකි කිසිවක් නැත. ඒ මගේ නන්නාදුනන පුද්ගලයන්ගේ දුරකථන අංක මා ලබා ගෙන ඇත්තේ විවිධ දුරකථන නාමාවලීන් ඇසුරු කිරීමෙනි. මා මගේ ව්‍යාපාරික අරමුණ ඔවුනට සන්නිවේදනය කරන්නේ එය ඔවුන්ගේ ම අවශ්‍යතාවක් බවට පත් කිරීමේ ඉන්ද්‍රජාලික ක්‍රමවේදයක් ඔස්සේ ය. නිතර දෙවේලේ දකින වෙළඳ දැන්වීමකට පෙනී සිටින කඩවසම් හින්දි නළුවකුගේ ස්වරයෙහි ඇති ගැඹුරු, එමෙන්ම සුමට පැහැදිලි බව මම හොඳින් නිරීක්ෂණය කර ඇත්තෙමි. මා ඔබ ඇමතුවේද ඊට වෙනස් ආකාරයකින් නොවේ. කෙසේ වුවද අපගේ මේ ‘ප්‍රමෝෂන්’ අප තොරොම්බල් කරන්නේ මස් කටුවකට ඉව අල්ලමින් ඉබාගාතේ යන සුනඛ රැලක් පරිද්දෙන්, වැඩි මුදල් ප්‍රතිශතයක්, වැඩි පොලී අනුපාතයක් කෙරෙහි ඇස්කන් දල්වා සිටින්නවුන්ගෙන් පිරුණු සමාජයකටය. ‘ඉල්ලුමට සැපයුම’ යනු ආර්ථික විද්‍යාවේද සිද්ධාන්තයකි.

ඔබත්, ඔබේ මවත් අපගේ ව්‍යාපාරික ආයතනය වෙත සපැමිණි ඒ සිහිකටයුතු දිනය මට කෙසේවත් අමතක කළ හැකි නැත. ඔබ‍ට සාකල්‍යයෙන්ම සරිලන ඒ සුදු සල්වාර් ඇඳුමේ රතු ශෝලය මගේ කම්මුල් ස්පර්ශ කරනු මට දැනුණේ ඔබ එතරම්ම මට ලංව සිටි හෙයිනි. පෝරමය පුරවද්දී ඔබට සහය වනු පිණිස මමද ඔබට ඉතා ලංව සිටියෙමි. ඔබ වෙතින් වහනය වූ කපුරු පෙති සුවඳ මා තුළ නැවුම් හැඟුම් දනවුවේය. පෝරමයේ ‘සිවිල් තත්ත්වය’ යනුවෙන් ලියවී තිබූ කොටුව මත පැන් තුඩ තබා ගත වනම ඔබ මා දෙස යටැසින් බැලූ මොහොතේ මා තුළ හටගත් සසල විඉම මේ මොහොතේදී ද මට දැනෙයි. ‘විවාහක ද? අවිවාහක ද? කියන එක ඔතන ලියන්න’ යි මා කීවේ ඔබේ ගැටලුවට විසඳුමක් වශයෙනි. පැහැදිලි අත් අකුරින් ‘අවිවාහක’ යැයි ලියූ ඔබ යළිත් වරක් නෙත් කොනින් මා දෙස බලා නගූ මන්දහාසයද ස්මාරකයක් මෙන් මගේ මතකයෙහි රැඳී තිබේ.

ඔබ නික්ම යාමෙන් අනතුරුව මම හුදෙකලා වීදුරු කාමරයේ කැරකෙන පුටුවේ දෝලනය වෙමින් සැලකිය යුතු වේලාවක් දිය කර හැරියෙමි. ඔබ මා වසඟයට ගත් අයුරක් නැතහොත් මා ඔබට හසුවූ බවක් මට හැඟුණේ ය. මගේ ව්‍යාපාරික කුරුමාණම, වැරදුණු කුරුමාණමක් වූයේ කෙසේ දැයි  මම විමතියෙන් සිතුවෙමි. ඔබ වැනි යුවතියන් සිය ගණනක් මා වෙත පැමිණෙමින්, මා අදහමින්, මා හමුවේ පෝරම පුරවා දී ඇති මුත්, ඒ කිසිවෙකු ව්‍යාපාරික ගනුදෙනුවෙන් ඔබ්බට මා ගෙනගියේ නැත. සටකපට ලෙස මිනිසුන් රවටා මුදල් වංචා කිරීමේ කිසිදු අපේක්ෂාවක් මා වෙත නොවූ බව අවධාරණයෙන්ම පැවසිය යුතුව තිබේ. වසරකට පසු ඔබේ තන්පතුවද ආකර්ෂණිය පොලී මුදලක් සමඟ ඔබ අත්පත් කිරීමේ අවංක වුවමනාවක් මා වෙත වූ අයුරින්ම ඒ පිළිබඳව කිසිදු සැක සංකාවක් මා වෙත නොවිණ.

එහෙත්…..?

ජිවිතයට කණකොකා හැඬුවේ ඉන් අනතුරුව ඔබෙත් මගෙත් ආදරයට අරුණලු උදා වෙමින් තිබියදී ය. අප සැමගේ කන් ආදී දෙදරවාලූ ඒ කර්ණකටුක කණකොක් සංධ්වනියේ වාද්‍ය වෘන්දය මුල්‍ය සමාගමට කෙටූ ඒ කණකොකාගේම ය. මම බියෙන් සලිතව සිටියෙමි. සැකබිය විසින් මට ප්‍රේමය අමතක කරනු ලැබුවේය.

‘ඔයා දැන් හරියට වෙනස් වෙලා. ඇයි ශෂී මොකක්‌ ද ඔයාට වෙලා තියෙන්නේ?’ ඔබ ඇසුවේ මගේ ඒ විපර්යාසය ඔබට ඉතා හොඳින් සන්නිවේදනය වී තිබූ හෙයිනි. සති අන්තයෙහි පැවැත්වුණු ඔබේ යහළුවන්ගේ ප්‍රිය සම්භාෂණ දෙක තුනක්ම මට මග හැරී ගියේ මේ අවිනිශ්චිත වාතාවරණය තුළ මා මුළුමනින්ම හෝන්දු මාන්දු තත්වයකට පත්ව සිටි බැවිනි. හෙට හෝ අනිද්දා ශුභදායක වාතාවරණයක් අපේක්ෂාවෙන් සිටියද, මා රඟදක්වන්නේ දියසිදෙන තුරු ගං ඉවුරේ බලාසිටි කොකාගේ භූමිකාව බව මට නොදුරු දිනකින්ම පසක් වුවේ ය. මුල් අවස්ථාවේදී නම් මට සිතුනේ මෙය එක්තරා ශිශිර තරණයක් කියා ය. ශිශිරයේ හිමෙන් වැසී යන පරිසරයේ රතු එළියට බියෙන් ඇතැම් කුඩා සතුන් පොළොවේ කුඩා වලවල් කැණ ඒ තුළ රැඳීසිටින බව මා අසා තිබේ. ඔවුන් එසේ සිටින්නේ හිමපතනය පහ වී හිරු උදා වන තුරු ය. ජිවිතයට උණුසුම රැගෙන එන හිරුගේ කිරණ නුදුරු දිනක ගහකොළවල මල් පුබුදුවන බව ඔවුහු දනිති.ඔවුන් එහි රැඳී සිටින්නේ ඒ බලාපොරොත්තුවක් සමග ය. මා මෙහි පැමිණියේද බලාපොරොත්තුවකින් තොරව නොවේ. එහෙත් අප ඉදිරියේ පැවති අගාධය දවසින් දවස වඩ වඩා විවර වෙමින්, ගැඹුරු වෙමින් පවතී. මුල්‍ය අර්බුධයේ ගිනිසිළු මුළුමහත් ලෝකය පුරාම ජීවිත ගණනාවක් දවමින් තවමින් බුර බුරා නැඟෙමින් තිබේ. මකරෙකු අප ගිලගනිමින් ඇති බව මිස කළයුතු දෙයක් පිළිබඳව අපි දැන නොසිටියෙමු.

මා මුල්‍ය ආයතනයෙන් පිටව ගියේ පැදුරටත් නොකියා ය. දස බිම්බරක් මාර සේනාවෝ මා ලුහු බඳිමින් සිටියහ. මිනිසුන්ගේ දෙස් දෙවොල් අවලාද මැද මම බියෙන් පලායමින් සිටියෙමි. මහ ගස්, ගල් කුළු, යකඩ කඳන් හැකිලී බිමට සමතලා කිරීමට තරම් බලයක්, ජවයක්, ජලයෙහි ඇති බව ‘සුනාමිය’ එනතුරුම අප කිසිවකු දැන සිටියේ නැත. ජවසම්පන්න  වූ ජනකාන්ත මුල්‍ය ආයතනයක් මෙසේ අඩපණව, බෙලහීනව යා හැකි බවක් අපි ද දැන නොසිටියෙමු. සැබවින්ම එය අප සියලු දෙන වෙත කඩාපාත් වූ සුනමියක්ම මිස අන් කිසිවක් නොවේ.

මා මගේ ජංගම දුරකථන අංකය වෙනස් කළේ ඔබ මගහැරීමට යැයි සිතීම මුළුමනින්ම වැරදි සහගතය. මා රැකියාවට ආයුබෝවන් කීවේත්, පදිංචිය වෙනස් කළේත්, දුරකථන අංකය මාරු කළේත් මගේ රීරි මාංශ ඉල්ලා හඹා එන ගනුදෙනු කරුවන්ගෙන් හිස බේරා ගැනීමට ය. සියල්ල සමඟ මට ඔබ ද අහිමිවන බව ඒ වන විට මම ඒකාන්ත වශයෙන්ම දැන සිටියෙමි. මගේ සිත් වේදනාව කිසි විටෙකත් කඳුළු බවට පත්වුයේ නැත. නැතහොත් කඳුළු සලන්නට තරම් විවේකයක් පරිසරයක් මා වටා නිර්මාණය වී නො තිබිණ. එහෙත් එකම මකුළු දැලක පැටලුණු කුඩා කෘමි සතුන් දෙදෙනෙකු බවට පත්ව සිටින ඔබ මෙන්ම මා ද මේ මොහොතේදී රැඳී සිටින්නේ පැමිණිලි කරුවන්ගේ පාර්ශවයේ ය. එහෙත්….? අවසනාවක මහත! මම දන් ගෙඩියට නියම වී සිටිමි. සංක්‍රාන්ති සමයක දෙකොන මාරු වූ සමාජයක පැමිණිලිකරුවන් විත්තිකරුවන් බවට පත්වීමේ සම්භාවිතාවය කෙතෙක් දැයි සිතනු මැනවි.

මගේ වගතුග, මා සිටින තැන හෝ අඩුම තරමින් මේ ඉසවුව ඔබට පැවසීම නිෂ්ඵලය. ඒ හිමපතනය පහවී ගිය කලෙක හෝ පුනුරුත්ථාපනය කළ හැකි කිසිවක් අප අතරේ ඉතිරිව නොමැති හෙයිනි. එක්තරා අවදියක ඔබත් මාත් බැඳී සිටියේ ආදරයෙන්ද? යන්න පවා දැන් මට ප්‍රේහෙලිකාවකි. ඒ තත්ත්වය නිර්වචනය කළයුතු වන්නේ ‘ආදරය’ වශයෙන් නම් වියරු ආත්මාර්ථකාමයට දියයුතු තවත් නමක් ලෙස ‘ආදරය’ හැඳින්වීමට මට සිදු වෙයි. මං පහරණ හොරෙකු ලෙස ඔබ මා දුටුවේද මේ වියරු ස්වභාවය නිසාම ය.

මා ඔබට ලබාදී ඇත්තේ සංස්ථාපිත ආයතනයක මුද්‍රාව සහිත ස්ථිර තන්පතුවකි, සහතිකයකි. ඒ මුදල පිලිබඳ වගකීම දරන්නේ ආයතනය බවත්, එය කිසියම් තනි පුද්ගලයකුගේ සාක්කුවට වැටෙන්නට ඇති අවකාශයේ අවම බවත් ඔබ දැන නොසිටින්නට හේතුවක් නැත. ඔබේ මුදල මා වංචා කළේ යැයි ලියා තබන්නට තරම් සැහැසි බවක් ඔබේ සියුමැලි ඇඟිලි තුඩුවලට කඳු වූවේ කොතනින් දැයි මම නොදනිමි. එතරම් රළු, නින්දා සහගත වදන් ඔබේ ශබ්ද කෝෂය තුළට වද්දාගෙන තිබුණේ කවර නම් අරුමයකින් ද? මා නිරතුරුව ඔබ දැක තිබුණේ, සිහිනයේදී පවා මට ඔබ පෙනුණේ අහිංසකත්වයේ දෙව්දුවක ලෙස ය. ඔබේ දයාන්විත ස්වරය මට සංගීතයක් ම වුවේ ය. කෝමළ රටාවකට අනුව මගේ ඇඟිලිතුඩු ස්පර්ශ කළ ඔබේ සුදුමුදු අතැඟිලි, දෙවියන් විසින් මවන ලද්දේ මල්පෙති පිරිමැදීම සඳහා ම යැයි මම සිතුවෙමි. මුළාවක තරම!

අනෙක් අතට සිදුවී ඇති සියල්ල සම්බන්ධයෙන් ඔබට පමණක් වරද පැටවිමටද මට හැකියාවක් නැත. මේ වූ කලී සමස්තයේම පොදු ස්වභාවයයි. හොඳ-නරක, වැරැද්ද-නිවැරැද්ද, වැරදිකරුවන්-නිවරදිකරුවන් තෝරා බේරා විසඳා ගැනීම සඳහා කාලය මිඩංගු කිරීමට තරම් හෝ ඉසුබුවක්, විවේක බුද්ධියක් මෙකල මිනිසුන්ට නැත. ඔවුහු ක්‍රෝධයෙන් ගිනිගෙන සිටිති. මහමඟ සිදුවන වාහන අනතුරකදී මිනිසුන් ක්‍රියාකරන පොදු ස්වභාවය මීට නිදසුන්ය. අනතුර සිදුවූයේ කෙසේ ද? කාගේ වරදින් ද? යි සොයා බැලීමට හෝ ඔවුහු පමා නොවෙති. ඒ, අනලස්ව සපුරාගත යුතු බලාපොරොත්තු සමුදායක් ඔවුනට ඇති බැවිනි. ඒ ජීවිතවල ආදර්ශ පාටය වී ඇත්තේ ‘වැඩි මුදලක්, ලොකු පොළියක්’ ය.

මෙවැනි වාතාවරණයක් තුළ ආදරයට හා විවාහයට කවර නම් වටිනාකමක් හිමිවන්නේ ද? සැබවින්ම ජුගුප්සාජනක ආර්ථික හුවමාරුවකට වැඩි කිසිවක් එහි පැවතිය හැකි නැත.

නොකළ වරදකට වන්දි ගෙවන්නට, සුසුම්ලන්නට, සැඟවී සිටින්නට මට සිදුව ඇත්තේ කවර නම් හේතු සාධක මත දැයි සිතාගන්නට වෙර දරමිනි, මා දැන් පසුවන්නේ. මා සිටින මේ ඉසවුව ‘ලෝකාන්තය’ දැයි මම නොදනිමි.මෙය නිර්නාමික ලෝකාන්තයකියි මට සිතෙන්නේ බඹයක් පමණ ඔබ්බෙන් පිහිටි බෑවුම එතරම්ම ගැඹුරු වන නිසා ය. බෑවුමට හිස නැඹුරු කළ විට අඳුර විනා අන් කිසිවක් නොපෙනෙයි. මේ දිනවල දැඩි සීතලක් නොපවතින නිසා එළිමහනේ රැඳී සිටීම එතරම්ම දුෂ්කර නැත.

ආදර රිෂී, අපේ ආදරය බිඳ වැටෙන්නට මුල් වූයේ මුල්‍යායතනයේ බිඳ වැටීමය. ඒ ආදරය ද මුල්‍යමය ගනුදෙනුවක් වූ නිසා ය. ඉර බැසගෙන යන යාමේ දොළ පහරක මුනුමුනුව අසමින් මීදුමෙන් බොඳ වූ පරිසරය සිසාරා නෙත් යොමු කරන මේ මොහොතේ මා තුළ බොහෝ සිතුවිලි පහළ වෙයි. ලෝකය. සමාජය අප කෙතරම් නම් මුලා කර ඇද් දැයි මට සිතේ. අපේ පරමාදර්ශ, සාරධර්ම, ගුරුවරුන්, අපට මග වරද්දා ඇද් දැයි මම සිතමි. ‘රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුයි’ යනුවෙන් කුඩා කළ මා හමුවේ මන්තරයක් මෙන් මතුරා ඇත්තේ මගේ පියාය. එකල ඔහු ඉතා කැපවීමෙන් යුතුව රාජකාරියේ නියැළුණ රජයේ සේවකයෙකි. මේ මන්තරය ඔහු මට දුන්නේ ඒ පිරුළු, රුවන් වැකි සර්වකාලින යැයි එදා ඔහු සිතූ නිසා ය. එහෙත් ඔහු වැරදි ය. සියලු පඬිවදන්, රුවන්වැකි, පිරුළු කාලානුරූපීව විපරිණාමයට පත්වෙයි. මා එසේ කියන්නේ මා ද රාජකාරිය දේවකාරිය මෙන් තැකූවකු වන නිසාය. මට ද වැරදුණේ එතැන ය. ආයතනික අරමුණු වලට අනුකූලව විනය ගරුකව, නීති ගරුකව රාජකාරියෙහි නියැලෙන්නට මම සැම විටම වෙර දැරුවෙමි. මුල්‍ය කළමනාකරුවකු වශයෙන් මවිසින් අනුගමනය කළයුතු නීති රීති පද්ධතියක් පැවති අතර මුල්‍ය ආයතනයේ ප්‍රාග්ධනය තර කිරීම එහි ළා මූලික වුවේ ය. මම ඒ සඳහා නො මද වෙහෙසක් දැරුවෙමි. අවනත බව, පක්ෂපාතිත්වය, මට කාන්දුව තිබුණේ මගේ පියාගෙනි. එහෙත් මේවා කලියුගයට බිහිසුණු ය. අකැප ය. ‘රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුය’ යන පිරුළ මෙකල ප්‍රහසනයකි.

කුමක් වුවද දැන් සියල්ල අවසන් ය. තවදුරටත් ඔබට කියන්නට යමක් ඉතිරිව නැත. එහෙත් ඔබ මට අලුත් දැක්මක් ලබා දී ඇති බව නම් නොමසුරුව පැවසීමට මම මැලි නොවෙමි. එය ඉතා දුර්ලභ වූ දැක්මකි. මේ මොහොතේ මා කවුළුවෙන් හාත්පස නරඹමින් සිටින්නේ වියසිදුරින් අහස දකින කණ කැස්බාවකි ලෙස යැයි මට හැඟෙන්නේ ඒ නිසා ය. සැදෑ මිදුම පරිසරය බොඳකර අවසන් ය. එහෙත්, මිහිදුම විසින් වසාගනු ලැබූ ගහකොළ හා ශාකපත්‍ර වල හරිතවර්ණය ඇති සැටියෙන් ම මට පෙනෙයි. අරුමය නම් ඒ ය. විනිවිද දැකීමේ අහඹු ශක්‍යතාවක් මගේ දෑසට ලැබී ඇද් දැයි නො දනිමි. මේ හිමපතනය නිම වුණත් නො වුණත් දැන් මට එතරම් වෙනසක් නැත්තේ ඒ නිසාය. මගේ බලාපොරොත්තු ප්‍රර්ථනා ඉතා අල්ප ය. අවසන් වශයෙන් මා ඔබට පවසන්නේ ඒ අල්ප වූ පැතුම් අතරේ වන එකම එක් පැතුමක් පමණකි.

‘ඔබට තෙවැනි ඇසක් පහළ වේවා!’

(මේ යාන්ත්‍රික ලෝකයේ ජිවිත වල ‘යථාව’ දකින්නට නම් තුන්වැනි ඇසක් වුවමනා ය.)

මා ඔබේ විශ්වාසී

ශෂින්ද්‍ර විජයපතිරණ     

(හිටපු මුල්‍ය කළමණාකරු)

කැතලින් ජයවර්ධන

One Reply to “ශිශිර තරණය”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: