ඔව් මහත්තයෝ ඔය තමයි
එහෙට යන පාර
ටිකක් දුර ගියාම
අහුවෙයි පාළු අම්බලම
එතනින් හැරිලා ගියාමයි
අහුවෙන්නේ වැලිපාර
එතන සුදු කොඩියක් ඇති
ඒ තමයි මළ ගෙදර
වාහනෙන් යන්න බෑ මහත්තයෝ
තියෙන්නේ අඩිපාර
ඔය කෙළී මල් විකුණුවා
ස්_ කන්දකුමාර ගාව
ඉඳලා හිටලා
නෙළුම නෙළුම් අල ‘හෙම
ගේනවා සතිපොළට
කොපි පොතක් පැන්සලක් ගන්නට
හබල ගෙන තම අතට
හැමදාම ඒ ඔරුව පැද්දා
එතෙරවන්නට දිවිය
මහත්තයට කියන්න ඕකි තමයි
රැක්කේ අප්පා නැති ඒ ගෙදර
නංගිලා තුන්දෙනා එක්කලා
හැම පාන්දර ඕකි
ඉස්කෝලේ ගියේ හිනා වීලයි
මලක් වාගේ කෝපි
ආයේ ඇවිදින් මල් කඩලා
හැම හවසක පේවී
කතරගම මහා තොරණ අබියස
මල් විකුණුවා වේලි
කාර් වුණත් හෙට්ටු කරලමයි
මල් ගත්තේ
මහත්තයෝ පොඩි හන්දා ඕකි !
පූජා වට්ටියෙ බුලත් කොළ උඩ
මොනරු එක දෙක තියාන
වැන්දා මිනිස්සු ගණන් බේරුවේ
සතේටයි මල් අරගෙන
ලෙඩ වෙච්ච දවසක දි කැදවත්
දෙන්න මිනිස්සු නැතුවට
ගල් ගසන්න ඇති තරම් ඇති
ඕකි බඩුවක් කියාන
මහත්තයෝ,
ඕකිගෙ මහා එකාට
අලියා ගැහුවා කෙම්මුර
අම්මත් අබ්බගාතයි
තාමත් ඒකිගෙම කරුමෙට
නඩයක පයට පොඩි වුණා
පිපෙන්න ළංවුණ පොහොට්ටු
කතරගමම තදින් පියා ගත්තා
කාත් කවුරුත් නැති නිසා ඇස් පිහාටු
කතා කරේ නෑ මහත්තයෝ
කවුරුත් අවනඩුව
කතරගම දෙයියන්ට හොඳටම වැඩියි
කරුමෙ තමයි එදවස !
මහත්තයා පත්තරෙන් වෙන්නැති
මෙහෙ නෑ කිරිපාට වාහන
ලියා ගන්නට දුක තියේවිද
දන්නේ නෑ තදියමේ ගියාට
අම්මපා මහත්තයෝ පත්තර ම ගියා
මහත්තයා එක්ක ඔය යන්නේ
හතර වෙනි එක
කරුමෙ තමයි !
මැරෙන්නම ඕන දුක අහන්න
නැත්නම් එයිද ඔච්චර පිරිවර.

Penned By Rtr. G.M.D.S. Asanka Bandara