තත්කාලීන තොරතුරු ප්‍රවාහාගත සමාජය තුළ ස්ත්‍රිය,ස්ත්‍රිත්වය හෝ කාන්තා අයිතිවාසිකම් යනු දෛනික කරළිය තුළ නොමඳ අවකාශයක් හිමිකොටගෙන ඇති ප්‍රස්තුතයන් වේ. නමුත් ගතානුගතික පුරුෂෝත්තමවාදී නියාමයන් සංස්කෘතික, ආගමික සන්දර්භයන් තුළ ස්වකීය බලාධිපත්‍යයික ස්වරූපය විදාරණය කොටගෙන ඇති සමාජයක , රිසි තැන ලබා දී,නිසි තැන ලබාදුන් බවට මුලාකරණය කර තිබීම කතිකාගත විය යුතුම අනුභූතියකි.
ලිංගික අසමානතාව සහ ජෛව විද්‍යාත්මක මටසිලිටිතා හේතුවෙන් ස්ත්‍රිය පහත් කොට සැලකීම ආදි කල්පික නොදියුණු සමාජගතව පැවති අවිචාරත්වය ප්‍රතිමාන කරන අවස්ථාවක් විනා කිසිදු තර්කගෝචර වූවක් නොවේ.
වැඩිවිය පැමිණි තැන් පටන් ඔසප් වේදනාව දරමින්,දාරක ප්‍රසූතියක දී මරණීය වේදනාවට පමණක් දෙවැනි වන වේදනාවක් පවා ශක්තිමත්ව දරා ගන්නා ස්ත්‍රිය, සුකුමාල මටසිලිටි චරිතයක් ලෙස හුවා දැක්වීම හුදු ලිංගික ඊර්ෂ්‍යයාවේ අන්ත ඵලයක් ලෙස සමාජගත කරන ලද්දක් පමණි.
තුන්වන ලෝකයේ රටක් ,නොඑසේනම් සංවර්ධනය වෙමින් පවතින රටක් සේම දකුණු ආසියාතික භූගෝලීය කලාපය තුළ පෙරදිග සංස්කෘතික අනන්‍යතා සහ හර පද්ධතීන් වලින් උපයුක්ත රටක් වන ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී අයිතිවාසිකම් විෂයෙහිලා අවධානය යොමු කිරීමේ දී මූලිකවම විචාරාක්ෂිය යොමු කළ යුතු ක්ෂේත්‍රයක් වන්නේ කාලානුරූපීයව යාවත්කාලීන වීම අත්‍යවශ්‍ය වුව ද එසේ නොවී යල්පැන ගිය මූල පද්ධතියක් මත පිහිටා ඇති ඇතැම් නෛතික ප්‍රතිපාදනයි.
මෙහි දී තත්කාලීන සමාජ විභවය තුළ “ගබ්සාව නිතිගත කිරීම” විෂයෙහිලා උද්ගතව තිබෙන සංවාදය විමර්ශනගෝචර වූවකි. ඒ අනුව ස්ත්‍රියකට ස්වකීය මානුෂීය සාධක කලමනාකරණයෙහිලා අර්ථ පූර්ණිත නිදහසක් ලබාදීම පිළිබඳව සාකච්ඡාවට ප්‍රස්තුත වී ඇත. බලහත්කාරයෙන් සිදු කරනු ලබන ගැබ් ගැනීම් , ස්ත්‍රී දුෂණයක ප්‍රතිඵල ලෙස ඇති වූ කළලයක් සම්බන්ධයෙන් ගබ්සාව සිදු කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන සකස් කිරීම පිළිබඳව මෙහිදී මූලික අවධානය යොමු වී තිබේ.කළලයක් යනු හුදෙක් භෞතික ජෛවීය සාධකයන්ට පමණක් ලඝු කළහැක්කක් නොව සංවේදී මානුෂීය සාධක සමූහයක ඒකරාශීත්වයක් බව සැබෑ ය.නමුත් ලෝකයට අර්ධ ප්‍රවිෂ්ටත්වයක් සිදු කර ඇති කළලයකට වඩා පූර්ණ ප්‍රවේශිත ස්ත්‍රී ජීවිතයක් හා බැඳි භෞතික මෙන් ම පාරභෞතික වටිනාකම් ද අධි සංවේදී බව වටහාගත යුතුම ය. ස්වකීය කැමැත්තෙන් හෝ අනුබල දීමකින් තොරව,පුරුෂාධිපත්‍යයේ අධම බලාධිකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ස්වක්කිය ගර්භාෂයට බලහත්කාරයෙන් හොබවන ලද කළලයකට උපත ලබා දී , ස්වකීය කායික මෙන් ම මානසික සෞඛ්‍ය ද කැපකළ යුතු බවට අධි පීඩනයක් ස්ත්‍රිය මත පරාවර්තනය කිරීම අතිශය අසාධාරණ වූවකි.
ස්වකීය තීරණය සහ කැමැත්ත මත ගැබ්ගෙන සිදු කරනු ලබන ප්‍රසූතියකදී පවා පශ්චාත් ප්‍රසව විශාදය/ පසු ප්‍රසව විශාදය (Post Natal Depression) වැනි මානසික බිඳවැටීම් වලට කාන්තාවක් ලක්වීමේ හැකියාව තිබිය දී ස්වකීය කැමැත්තෙන් තොරව සිදු වූ ගැබ් ගැනීමක් හරහා ස්‍ත්‍රියක් මුහුණ දෙන පීඩනය සුළුපටු නොවේ.විශේෂයෙන් ම අනෙකාගේ පෞද්ගලිකත්වය පිළිබඳ නාමකරණිත ගෞරවයකට පවා සීමා වූ බහුතර සමාජ ස්‍තරායණයක් සහිත ශ්‍රී ලංකාව වැනි රටක එය අධි ආරෝපිත පීඩනයක් බව නොකිව මනාය.
එලෙස සමාජයෙන් එල්ල කරන ලද පීඩනයකින් පරිපීඩිත කාන්තාවක් බලහත්කාරයෙන් සිය කුස තුළට හොබවනු ලැබූ දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරුව ඝාතනය කිරීමට පෙළඹුනහොත් ඇයව මිනීමැරුමකට වරදකාරියක් කිරීමට පූර්වයෙන් මිනීමැරුමක් සඳහා අවශ්‍ය ආනුශාංගික කරුණු පූරණය කරමින් ඇයව ඝාතිකාවකගේ භූමිකාව තුළට තල්ලුකර දැමූ නෛතික බලධාරීත්වයට දැඩි දඬුවම් පැමිණවිය යුතුය.
බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම යනු ද තත්කාලීනව අරුමැසි නොවූ සංසිද්ධියකි. ශ්‍රී ලංකාවේ අද්‍යාපනික ක්‍රමවේදය ලිංගික අද්‍යාපනය පිළිබඳව සවිඥානික දැනුමක් ලබාදීමේ දී තබා ඇති රික්තය මීට ප්‍රබලවම මඟ සලසන හේතුවකි. එලෙස ලිංගිකත්වය පිළිබඳ ප්‍රාමණික දැනුමක් නොලැබීම සහ අපයෝජනයන්ට ලක්වීම හරහා ගැබ්ගන්නා බාලවයස්කාර දැරියන් විෂයෙහිලා වුව ද ගබ්සාකරණය ක්‍රියාත්මක කිරීමට නෛතික ප්‍රතිපාදන නොමැති වීම තුළින් සිදුකරනුයේ දරුවෙකු ප්‍රසූත කොට , පෝෂණය කරන ලෙස ස්වයං සාධකවත් කලමනාකරණය කරගත නොහැකි බාලවයස්කාරියකට බලපෑම් කිරීමයි. මෙය කෙතරම් දුරට සදාචාරාත්මක ද යන්න ගැටලුකාරීය. මෙවන් අවස්ථාවල බාලවයස්කාර මවගේ සහ උපන් දරුවාගේ රැකවරණය තහවුරු කරලනු වස් ළමා හා කාන්තා කාර්‍යයංශ අනුබද්ධිත ආයතන පැවතිය ද භෞතික පහසුකම් සැලසීමක් හා රැකවරණයක් හරහා මානසික පීඩනය ඵලදායී කලමනාකරණයකට නතුකළ හැකි ද යන්න ගැටලුවකි.
අවශ්‍ය වන්නේ නිෂ්ටාත්මක පිළියමක් විනා පැලැස්තර යෙදීමක් නොවේ.
සන්දේශයක අර්ථග්‍රහණය ස්වකීය ඥානව්‍යුහාගත පරාමිතීන් හරහා නිර්ණය වන්නක් බැවින් අර්ථකථන අයිතිය පූර්ණව ම ඔබ සතු ය.
Penned by Rtr. Ishara Danodya