ඔබත් යම් කිසි පරිශ්‍රයක් කුලියට ගෙන වාසය කිරීමට බලාපොරොත්තු වෙනවාද ? එසේත් නැතිනම් ඔබ මේ වන විටත් ජීවත් වන්නේ කුලී නිවාසයකද? එහෙනම් මේ දේවල් පිළිබඳව අනිවාර්‍යයෙන් ම දැනුවත් වෙන්න.
ශ්‍රී ලංකාවේ වර්තමාන නෛතික තත්වය අනුව 1980 න් පසු ඉදිකර කුලියට දී ඇති පරිශ්‍ර සම්බන්ධයෙන් මූලික වශයෙන් ම අදාළ වන්නේ කුලී ගිවිසුමක් ආරම්භයේ දී සකස් කරන ලද බදු ඔප්පුවේ කොන්දේසි වේ. එම කොන්දේසි මඟින් කුලියට ගන්නා ලද පරිශ්‍රය හා සම්බන්ධ නෛතික සාධක මෙන් ම කුලී නිවැසියා හා නිවෙස් හිමිකරුවා සම්බන්ධ නෛතික ආනුශංගික කාරණා ද නියාමනය වන්නේ බදු ඔප්පුවේ සඳහන් කොන්දේසි මඟිනි.
නමුත් ලාංකේය සන්දර්භය තුළ දැකගත හැකි නිශේධනීය තත්වයක් වන්නේ මුද්දර ගාස්තු ගෙවීමට ඇති අකමැත්ත මත බොහොමයක් දෙනා මෙවන් ආකාරයේ නෛතිකව සකස් කරන ලද බදු ඔප්පුවක් හරහා බදු ගිවිසුමකට එළඹීමට කටයුතු නොකිරීමයි. මෙහි දී යම්කිසි පරිශ්‍රයක් බද්දට ගැනීමේදී බද්දට ගන්නා මුළු කාලය සඳහා ගෙවීමට සිදුවන කුලී මුදලෙන් 1% ක මුදලක් පමණක් මුද්දර ගාස්තු ලෙස ගෙවීමට සිදුවේ. උදාහරණයක් ලෙස මසකට රුපියල් 10 000 ක කුලියක් බැඟින් බැඟින් වසරක් සඳහා ඔබ යම්කිසි පරිශ්‍රයක් බද්දට ගන්නා අවස්ථාවක දී ඒ සඳහා බදු ඔප්පුව සෑදීමට මුද්දර ගාස්තු ලෙස වැය වන්නේ වසරක කුලිය වන රුපියල් 120 000 න් 1%ක් එනම් රුපියල් 1200 ක් පමණි. බදු ඔප්පුවක් සකස් කිරීමේ දී යම්කිසි මූල්‍යමය පිරිවැයක් දැරීමට සිදු වුව ද පසුකාලීනව සිදුවීමට ඉඩ ඇති ගැටලුකාරී තත්වයන් රැසකට නෛතික වශයෙන් බලාත්මක වන මූලික ම පිළිසරණ බදු ඔප්පුව බැඟින් එය කුලී නිවසියාට මෙන් ම කුලී නිවෙස් හිමිකරුවාට ද එක සේ වැදගත් වේ.
වංචා වැලැක්වීමේ ආඥා පනත ප්‍රාකාරව මෙවන් බදු ඔප්පුවක් සකස් කර නොතාරිස්වරයෙකු හා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ අත්සන් කොට ලියාපදිංචි කිරීම මඟින් එයට නෛතිකව බලාත්මක භාවය ලැබේ.
මේ ආකාරයට බදු ඔප්පුවක් සකස් කිරීමේදී මූලික වශයෙන් ම කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කල යුතු ය.
ඉන් පළමුවැන්න වන්නේ තැන්පතු මුදල සම්බන්ධයෙන් දැක්වෙන කොන්දේසියයි. ඒ අනුව මෙම ගිවිසුම තුළ තැන්පතු මුදලක් තිබේද? නැතිද? එසේ තැන්පතු මුදලක් තිබේ නම් එම මුදලේ වටිනාකම කොපමණද? යනාදී කරුණු මීට ඇතුළත් කළ හැක.
එසේ ම කුලී ගිවිසුම අවසානයේ දී එම තැන්පතු මුදල කුලී නිවෙස් හිමියා විසින් කුලී නිවැසියාට ආපසු ලබාදීමේ දී ගිවිසුම්ගත කාලය තුළ කුලී නිවැසියාගේ අතින් අදාළ පරිශ්‍රයට කිසියම් අලාභ හානියක් සිදු වී ඇත්න්ම් එම හානිය පූරණයට ද හානියට සරිලන මුදලක් තැන්පතු මුදලෙන් ලබාගන්නා බවට ද කොන්දේසියක් මෙහි දී ඇතුළත් කළ හැක.
බදු ඔප්පුවක් තුළ අන්තර්ගත කළ හැකි තවත් වැදගත් කොන්දේසියක් වන්නේ එම බදු ගිවිසුම ආරම්භ වන දිනය හා අවසන් වන දිනයයි. ඒ අනුව බදු ඔප්පුවේ දැක්වෙන ගිවිසුම ආරම්භ වන දිනයේ දී කුලී නිවැසියාට එම පරිශ්‍රයට ඇතුළත් විය හැකි අතර බදු ඔප්පුවේ සඳහන් වන කුලී ගිවිසුම අවසන් වන දිනයේ දී කුලී නිවැසියා අදාළ පරිශ්‍රයෙන් පිටවී යාමට නීතියෙන් බැඳී සිටියි. ඔබ කුලී නිවැසියෙක් නම් , මෙමඟින් කොන්දේසිගත නියමයන්ට පටහැණිව ගිවිසුම්ගත කාලය අවසන් වීමට පෙර සිය හිතුමතයට ඔබව කුලී පරිශ්‍රයෙන් පිටකිරීමට නිවෙස් හිමියාට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන් ම අවහිර කරයි.
එසේ ම කට වචනයට අනුව එළඹි බොහොමයක් බදු ගිවිසුම් වල දී කාලයක් ඉක්ම යාමෙන් අනතුරුව උද්ගත වන ගැටලුවක් වන්නේ , ගිවිසුම ආරම්භයේ දී නියම කරගන්නා ලද මාසික කුලී මුදල නිවෙස් හිමියා විසින් පසුව වැඩි කිරීමයි. එවිට කුලී නිවැසියාට ඇත්තේ විසඳුම් දෙකක් පමණි. ඉන් එකක් නම් නිවෙස් හිමියා විසින් වැඩි කරන ලද කුලී මුදලට එකඟ වී එය ගෙවාගෙන යෑම ය. අනෙක් විසඳුම නම් අදාළ පරිශ්‍රයෙන් පිටව යාම ය. මින් කිනම් විසඳුමකට එළඹුණද ඉන් කුලී නිවැසියා අපහසුතාවයට පත් වේ. නමුත් බදු ඔප්පුවක් මඟින් ගිවිසුම් ගත වන අවස්ථා වල දී ගිවිසුම ආරම්භයේ දී නියම කර ගන්නා ලද කුලී මුදල හිතුමතය වැඩි කිරීමට නිවෙස් හිමියාට නොහැකි අතර ඒ හරහා කුලී නිවැසියාට නීතිමය රැකවරණයක් සැලසේ. ඒ අනුව බදු ඔප්පුවක ඇතුළත් කළ යුතු ම කරුණක් වන්නේ මාසික කුලී මුදලයි.
එසේ ම එම කුලී මුදල කුලී නිවැසියා විසින් කුලී නිවෙස් හිමිකරුට ගෙවන ආකාරය ද බදු ඔප්පුව තුළ නිශ්චිතව සඳහන් කිරීම යෝග්‍ය වේ. එම මුදල කුලී හිමිකරුගේ අතට ලබා දෙනවාද? නැතහොත් ඔහුගේ බැංකු ගිණුමකට බැර කරනවාද? එසේ බැර කරනවා නම් බැර කළ යුතු ගිණුමේ විස්තර යනාදී කරුණු මීට ඇතුළත් කළ යුතුවේ.
බදු ඔප්පුවක් තුළ අන්තර්ගත කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ බද්දට ගන්නා පරිශ්‍රය නඩත්තු කරන්නේ කවරෙකු විසින්ද යන්නයි. නිදර්ශනයක් ලෙස බද්දට ගන්නා පරිශ්‍රය ඉඩමක් වැනි නිශ්චල දේපළක් නම් එය වල්බිහි වන විට එළි පෙහෙළි කිරීම සිදු කරන්නේ කවුරුන් විසින්ද? කොපමණ කාලයකින්ද ? (මාස තුනක වරක් ආදී ලෙස) යනාදිය ද බදු ඔප්පුවේ විස්තර වලට ඇතුළත් කළ යුතු ය.
එසේ ම අදාළ පරිශ්‍රයේ ජල බිල්පත හා විදුලි බිල්පත ගෙවන්නේ කුලී නිවැසියාද? නිවෙස් හිමිකරුවාද? යන්න පිළිබඳව ද පැහැදිලිව සඳහන් කළ යුතුය. බදු ඔප්පු රහිතව ගිවිසුම්ගත වීමේදී ඇතැම් විට නිවෙස් හිමියා ජල සහ විදුලි බිල්පත් වලට ද ඇතුළත්ව යැයි දක්වා කුලී මුදල ලබාගෙන අනතුරුව ජල , විදුලි බිල්පත් නොගෙවා එය ගෙවීම කුලී නිවැසියාට ම පවරන අවස්ථා ඇත. එවන් අවස්ථා වලදී අදාළ බිල්පත් නොගෙවා සිටීම මඟින් ජල හා විදුලි පහසුකම් අහිමි වන්නේ ද කුලී නිවැසියාට ම බැවින් එකී බිල්පත් ගෙවීමට ඔහුට හෝ ඇයට සිදු වේ. එය කුලී නිවැසියාට දැඩි ලෙස අපහසුතාවයට පත් වීමට සිදුවන අවස්ථාවකි. එබවින් ඒ පිළිබඳව පැහැදිලි එකඟතාවයක් ගිවිසුම ආරම්භයේ දී ම ඇති කරගැනීම වැදගත් වේ.
බදු ඔප්පුවක් සකස් කිරීමේදී අදාළ පරිශ්‍රය සැබැවින් ම බදු දෙන්නාට අයිතිද යන වග තහවුරු කරගත යුතුය. ඇතැම් විට එම පරිශ්‍රය ඔහුගේ භාරයේ පවතින නමුත් වෙනත් කෙනෙකුට හිමිකාරීත්වය පවතින දේපළක් විය හැකිය. එවන් අවස්ථාවක යම් හෙයකින් බදු දෙන්නා බදු දීම සිදුකර ඇත්තේ හිමිකරුවාගේ අනුමැතියෙන් තොරව නම් හිමිකරුවා සිය හිමිකාරීත්වයේ අයිතිය භාවිත කළ විට කුලී නිවැසියාට අදාළ පරිශ්‍රයෙන් ඉවත් වීමට පවා සිදුවිය හැක.
මේ හේතුවෙන් අදාළ කුලී නිවස හෝ පරිශ්‍රය සැබැවින් ම බදු දෙන්නාට අයත් ද යන්න කුලියට ගැනීමට බලාපොරොත්තු වන පාර්ශවයට සිය නීතීඥයාගේ මාර්ගයෙන් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලය හරහා සිදු කරනු ලබන පත්තිරු පරීක්ෂාවක් මඟින් තහවුරු කරගත හැක.
එසේ ම යම්කිසි නොවැළැක්විය හැකි හේතුවක් නිසා බදු ගිවිසුම නියමිත කාලයට පෙර අවසන් කිරීමට සිදු වුවහොත් එය සිදු කරන්නේ කවර ආකාරයෙන්ද යන්න පිළිබඳව ද බදු ගිවිසුම තුළ ප්‍රතිපාදන ඇතුළත් කළ යුතුය.
මෙලෙස බදු දෙන්නා හා බදු ගැනුම්කරුආ යන දෙපාර්ශවය එකඟ වන කොන්දේසි ඇතුළත් බදු ඔප්පුවක් සකස් කර නොතාරිස්වරයෙකු ඉදිරියේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහිතව අත්සන් කිරීමෙන් අනතුරුව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලයේ ලියාපදිංචි කළ යුතුය. එසේ ම මේ ආකාරයෙන් ලියාපදිංචි කළ බදු ඔප්පුවේ පිටපත් දෙකක් බදු දෙන්නා සහ බදු ගැනුම්කරු විසින් ළඟ තබා ගත යුතුය.
මේ ආකාරයට නෛතිකව වලංගුතාවයක් සහිත බදු ඔප්පුවක් හරහා කුලී ගිවිසුමකට එළඹීම මඟින් කුලී නිවැසියෙකු ලෙස ඔබගේ අයිතිවාසිකම් ආරක්ෂා වීම සිදු වන අතර කුලී නිවෙස් හිමියා හෝ වෙනත් තුන්වන පාර්ශවයක් සමඟ පසුකාලීන අර්බුදකාරී තත්වයන් උද්ගත වීමට අති ප්‍රවණතාවය වැලැක්වීම මෙන් ම යම් ආකාරයකින් හෝ අර්බුදයක් ඇති වුඅහොත් ඔබට නීතිමය පිළිසරණ ලබාගැනීමට අවශ්‍ය ඉඩකඩ සැලසීම ද මෙමඟින් සිදු වේ.
සැකසුම ÷ ඉෂාරා දනෝද්‍යා
නීති පීඨය (දෙවන වසර)
කොළඹ විශ්ව විද්‍යාලය


