මානව මනසේ සංවර්ධනයත් සමඟ පසුගිය දශක කිහිපය මුළුල්ලේ ම මිනිසා තාක්ෂණික වශයෙන් අත්කරගත් විශාල ප්‍රගතියේ ප්‍රතිඵලයක් ලෙස නිපදවු පරිගණකය නූතන මිනිසාගේ විද්‍යුත් මොළය වේ. වර්තමානයේ මිනිස් ජීවිතයේ සෑම අංගයක් හා සමඟම අවියෝඡනීය බැදීමක් ඇති කර ගෙන තිබෙන්නා වූ පරිගණකය අන්තර්ජාලය හා සමඟ බැඳී සිදු කරන්නා වූ ක්‍රියාකාරීත්වය ව්‍යාපාර ලෝකයේ ද,අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද, සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම සන්නිවේදන ක්ෂේත්‍රය ආදී විශාල ක්ෂේත්‍ර ගණනාවක ම මූලික උපාංගය බවට වර්තමානයේ දී පත් වී ඇත.
පරිගණක යනු කුමක්දැයි අර්ථකථනය කර ගැනීමේදී ශ්‍රී ලංකාවේ සම්මත පනතක් වන 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත හඳුනාගත හැකිය. එමගින් පරිගණක අපරාධ හඳුනාගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැළැක්වීම සඳහා නෛතික ක්‍රියාමාර්ග සැලසීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම මූලික අරමුණු කරගෙන තිබේ. මෙම පනතේ 38 වන වගන්තියේ අර්ථ නිරූපණයට අනුව “පරිගණකය” යන්නෙන් තොරතුරු සැකසීමේ හැකියාව දරන ඉලෙක්ට්‍රෙනික හෝ සමාන උපක්‍රමයක් අදහස් වේ. පරිගණක පද්ධතිය යන්නෙන් පරිගණකයක් හෝ අන්තර්ජාලය ඇතුළුව අන්තර් සම්බන්ධිත පරිගණක සමූහයක් අදහස් වේ.
දත්ත සැකසීම,හුවමාරු කර ගැනීම ,ගබඩා කිරීම මෙන්ම භෞතික වශයෙන් මුණගැසීමෙන් සිදු කළ යුතු ඇතැම් කාර්‍යයන් සයිබර් අවකාශය තුළ එකිනෙකා මුණ ගැසී සිදුකර ගැනීමේ හැකියාවත් පුද්ගලයෙකුට කාර්යයන් ගණනාවක් ඉතා කෙටි කාලයක් තුළ ඉටු කර ගැනීමේ හැකියාව මේ තුළින් ලබාදෙන යහපත් ප්‍රතිඵල කිහිපයකි.
අන්තර්ජාලය හා බැඳී සයිබර් අවකාශය තුළ ක්‍රියාකාරී වන පරිගණකය සාම්ප්‍ර දායික වශයෙන් වංචා හා සොරකම් , තර්ජන කිරීම් ,කූට ලේඛන සෑදීම, පොදු මුදල් වංචා කිරීම් ආදී අකටයුතුකම් වලින් සීමා නොවී වෙබ් අඩවිවලට අනවසරයෙන් පිවිසීම, දත්ත සොරකම් කිරීම, ත්‍රස්තවාදී කටයුතු සඳහා ද පරිඝනක යොදා ගැනීම, දත්ත වලට හානි සිදු කිරීම ආදී පරිගණක අපරාධ දක්වා වර්ධනය වීමක් අද ලෝකය තුළ දැකගත හැක.
සයිබර් අවකාශයක් තුළ සිදුවන අදෘශ්‍යමාන අපරාධයන් වැළැක්වීමට පියවර ගැනීම මුල්කාලීනව ලෝකයක් වශයෙන් සියලු දෙනා විශාල ලෙස මුහුණ දුන් අභියෝගයක් වුවත් වර්තමානය වන විට ඊට අදාලව බොහෝ නීති සම්පාදනය කොට ඇත.
ශ්‍රී ලංකාව තුළ සම්පාදිත නීති හා අණපනත් විමසීමේ දී 2003 අංක 38 දරණ දරන බුද්ධිමය දේපල පනත, 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත, 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත මෙන්ම මෙන්ම විදේශීය වශයෙන් වූ බ්‍රිතාන්‍යයේ 1994 අපරාධ යුක්ති හා මහජන නියෝග පනත ආදිය අපගේ අධිකරණ කටයුතු වලදී ආධාර කර ගනී.
මෙම එක් එක් නීති හා අණපනත් ක්‍රියාත්මක වන ආකාරය විමසීමේදී වංචා හා සොරකම් වලට අදාළව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 17 පරිච්ඡේදයේ ඊට අදාළ දඬුවම් පෙන්වා දී ඇත. Oxford v. Mass නඩුවේදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විසින් විභාග ප්‍රශ්න පත්‍රයක් ඡායා පිටපත් කරගෙන එහි මුල් පිටපත ආපසු ලබාදීම මගින් සොරකම යන සාම්ප්‍රදායික වරද සිදු කර තිබේ ද යන්න ප්‍රශ්න ගත විය. මෙහිදී අධිකරණයේ තීරණය කළේ අදාළ දේපළ ස්ථිර ලෙස ලබා ගැනීමක් සිදුවී නැති නිසා සොරකම නැමැති වරද ස්ථාපනය නොවූ බවයි.
එමෙන්ම අසභ්‍ය ප්‍රකාශන, පින්තූර හා පරිගණක පිළිබඳ අපරාධ වල දී බ්‍රිතාන්‍යයේ 1994 අපරාධ යුක්ති හා මහජන නියෝග පනත දැකිය හැක. පසු කාලීනව 1998 අපරාධ යුක්ති පනත ලෙස එය සංශෝධනය කර ළමුන් සම්බන්ධයෙන් අසභ්‍ය අංකිත ප්‍රතිරූප සෑදීම වරදක් ලෙස නම්කර ඒ සඳහා වරදකරු වන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමේ ප්‍රතිපාදන අන්තර්ගත කර ඇත . එය King vs Fellow and Arnold නඩුවේ දී පැහැදිලි වේ.
තවද අනවසරයෙන් පරිගණක පද්ධති වලට පිවිසීම, දත්ත සොරකම් කිරීම හා දත්ත වලට හානි පැමිණවීම සම්බන්ධයෙන් විවිධ රටවල විවිධ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් අපරාධ සංග්‍රහයේ 1029 වගන්තිය යටතේ උපකරණ හා පරිගණක වලට අවතීර්ණ වීම සම්බන්ධව වංචා සහ ඊට අනුශාංගික කරුණු ද ඊට නියමිත දඬුවම්ද අන්තර්ගත කර ඇත.
එක්සත් රාජධානියේ පනතේ දෙවැනි වගන්ති ප්‍රකාරව වෙනත් වරදක් කිරීමේ චේතනාවන් පරිගණක අන්තර්ගත දත්ත වෙත අනවසරයෙන් පිවිසීම අපරාධයක් බව දක්වයි. US. Vs Ancheta නඩුවේදී අනවසර පරිගණක දත්ත ලබාගෙන ඒවා විකිණීමට හා ඒවා විසුරුවා හැරීමට ද්වේශ සහගත ලෙස කටයුතු කළ තැනැත්තෙකුට වාර්තාගත මාස 51 ක සිර සිර දඬුවමක් නියම කරන ලදී .
එමෙන්ම පරිගණක පද්ධති මගින් අන්‍යයන්ට පීඩා කිරීම සම්බන්ධව ලිංග භේදය, වර්ගය, ආගම, ජාතිකත්වය හා ලිංගිකත්වය පදනම් කරගෙන පරිගණකය ආශ්‍රිත කතා කාමර ( chat room) ප්‍රවෘත්ති සමූහ (News group) සහ වෛරී විද්‍යුත් තැපැල් පණිවුඩ (hate emails) මාධ්‍ය කරගෙන කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් තවත් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පීඩා කිරීම පිටුදැකීමට ද පරිගණක හා අන්තර්ජාල නීතියේ නව ප්‍රවණතා හටගෙන තිබේ. එංගලන්තයේ 1984 විදුලි සන්නිවේදන පනතේ 42 වන වගන්තිය 1988 ද්වේශසහගත සන්නිවේදන පනතේ 1 වගන්තිය මඟින් වරදකාරී හෝ තර්ජනාත්මක ලිපියක් හෝ විද්‍යුත් සන්නිවේදනයක් හෝ විද්‍යුත් රචනාවක් තවත් පුද්ගලයකුට යැවීමද දණ්ඩනීතියේ වරදක් ලෙස දක්වා ඇත.
මේ ආකාරයට පරිගණක අපරාධ සම්බන්ධයෙන් ලොව පුරා නීති ක්‍රියාත්මක කිරීම මෙමගින් හඳුනාගත හැක. සමස්ත නීති ප්‍රතිපාදනයන්ගේ ම අරමුණ වනුයේ පරිශ්‍රීලක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සයිබර් අවකාශය සුරක්ෂිත කිරීමය.
Penned by : Shashini Hansika ( 1st year,FOL)


