සයිබර් අපරාධ හා කාන්තාව…

කාන්තාවන්ට ආරක්ෂිත සහ ආරක්ෂිත පරිසරයක ජීවත් වීමට හැකි වූ විට, ඔවුන්ට ආර්ථිකයට හා සමාජයට ඵලදායී ලෙස සහභාගී විය හැකිය. මෙය දරිද්‍රතාවයෙන් මිදීමටත්, අසමානතා අවම කිරීමටත්, දරුවන්ගේ පෝෂණයට, සෞඛ්‍යයට සහ පාසල් පැමිණීමටත් ප්‍රයෝජනවත් වේ. සෑම කාන්තාවකටම සහ ගැහැණු ළමයෙකුටම තම නිවසේ සහ ප්‍රජාව තුළ ආරක්ෂිතව ජීවත් වීමට අයිතියක් ඇත.

හෙලන් ක්ලාක් –

ශ්‍රී ලංකාව වැනි බොහෝ ආසියාතික රටවල දෙමව්පියන්,  දරුවන් විශේෂයෙන් ගැහැණු දරුවන් නිවස තුළ රැඳී සිටීම වඩාත් ආරක්ෂිත යැයි විශ්වාස කරති . නමුත් ඔවුන්ගේ එම වැරදි අවබෝධය තුළ දරුවන්ව නිවෙස්වල රඳවා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ දරුවන් තමන්ගේ ජංගම දුරකථන පරිගණක හා සමාජ මාධ්‍ය සමඟ හුදකලා වීමෙන් ඔවුන් විවිධ ගැටළුවලට මුහුණ දී පීඩාවට පත් වූ ආකාරයේ  සිදුවීම් බොහොමයක් මෑත කාලීනව  වාර්තා විය. එසේම දරුවන් පමණක් නොව සමාජ මාධ්‍ය ඇතුළු සයිබර් ලෝකය තුළ කාන්තාව ආරක්ෂිත ද යන්න විශාල ගැටලුවකි .

සයිබර් අපරාධ යනු පරිගණක ජාල සහ ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන අපරාධ ක්‍රියාකාරකම් වේ . සයිබර් අපරාධය විවිධ ස්වරූපයන් ගත හැකි අතර අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය වර්ධනයත් සමඟ ඒවා වැඩි වැඩියෙන් ප්‍රචලිත වී ඇත .මේ අනුව සයිබර් ලෝකයේ සැරිසරන කාන්තාව මාර්ගගත හිරිහැර කිරීම් වලට ලක් වේ . එසේම කාන්තාවන් පළිගැනීමේ අසභ්‍ය දර්ශන වලට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් ඇත. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතාවලදී හුවමාරු කරගන්නා පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ එම සබඳතාව නිමවීමත්  සමග සමාජ මාධ්‍යයේ පළ කිරීම සමග අදාළ කාන්තාවගේ ජීවිතයට විශාල නිශේධනාත්මක බලපෑමක් ඇති කරයි .එසේම  කාන්තාවන්ගේ වෘත්තීය කීර්තිනාමයට හානි කිරීමට ද මෙවැනි පළිගැනීම් සිදු විය හැක. එසේම කාන්තාවක් රංගනයෙන් හෝ වෙනස් ක්ෂේත්‍රයකින්  දීර්ඝ ගමනකට මුලපුරන විට ඇය අපහසුතාවයට පත් කර , ඇයගේ ගමනට බාධා එල්ල කිරීමට හැකිවන සේ චරිත ඝාතනය සිදුකිරීමට උත්සාහ කළ අවස්ථා බොහෝමයක් මෑතකාලීනව සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණි . එසේම ඇතැම් අවස්ථාවල විවිධ කාන්තාවන්ගේ ඡායාරූප එඩිට් කොට ඒවා සමාජ මාධ්‍ය තුළ  පළකිරීම හෝ පළ කරන බව පවසා බිය කර මුදල් ලබාගැනීමේ  අවස්ථා දැකගත හැකිය . තවද කාන්තාවගේ ඡායාරූප ගෙන ඒවා යොදාගෙන ඇයගේ නමද යොදා ව්‍යාජ ගිණුම් සකස් කර ඇයගේ ප්‍රතිරූපයට හානි කරන අවස්ථාත් එමට ය .

විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළින් කාන්තාවන්ට සමීප වෙමින් ඔවුන්ගේ හැඟීම් සහ විශ්වාසය ගසා කමින් මුදල් හා තොරතුරු සොරකම් කරන අවස්ථා ද බොහෝ ය . මේ මොන ආකාරයේ සිදුවීමක් වුවද අවසානයේ මිනිස් ජීවිත වලට ඇති කරන අහිතකර බලපෑම සුළු පටු  නැත . විශේෂයෙන්ම කාන්තාවන්ගේ කීර්ති නාමය හෝ  මානසික සෞඛ්‍යයට හානි කිරීම වැනි චිත්තවේගීය පීඩා කාංසාව හා නොබැඳි ප්‍රතිවිපාක වලට පවා හේතු විය හැක .එසේම මේ තුළින් වින්දිතයන්ට සැලකිය යුතු මූල්‍ය අලාභයක් විදිමට ද සිදුවනු ඇත .

 නමුත් මෙහි අවාසනාවන්තම කරුණ වනුයේ බොහෝ අවස්ථාවල දී සයිබර් අපරාධ වලට ලක්වෙන කාන්තාවන්ට සමාජය ඇති කරන දරුණු චෝදනා සමඟ තම සමීපතමයන්  පවා හැර යාම හේතුවෙන් ඇය සියදිවි නසා ගැනීමට පෙලඹීම යි . මෙවැනි සිදුවීම් මේ සමාජය තුළ පුදුම විය යුතු කරුණු නොව අතිශය සාමාන්‍ය ලෙස කාලයක් තිස්සෙ සිදුවු අපරාධ බව ඒ පිළිබඳව අධ්‍යනය තුළින් ඔබට වැටහෙනු ඇත .

ප්‍රධාන වශයෙන් බොහෝ අසභ්‍ය ඡායාරූප වීඩියෝ හුවමාරුව සිදු වන්නේ අන්තර්ජාලය හරහා පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා වන ආරක්ෂක පියවරයන් පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසාය . එම අපකීර්තිය කාන්තාවන්ගේ ජීවිතවලට විශාල නිශේධනාත්මක බලපෑමක් සිදු කරයි. කෙසේ වුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට ස්වයං ප්‍රකාශන හා මහජන සහ දේශපාලන කටයුතු සඳහා වැඩි හැකියාවක් ලබා දී ඇති අතර බොහෝ විට කාන්තාවන් , ගෑණු ළමයින්  අන්තර්ජාලයට ප්‍රවේශ වීම වැඩිවීම හා අන්තර්ජාලය හරහා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැඩි වීම තුළ ඍජු සමානුපාතිකත්වයක්  දැකිය හැක .

Amnesty International සඳහා Ipsos MORI විසින් කරන ලද 2018 වසයර් 18-55 වයස්වල ඔස්ට්‍රේලියානු කාන්තාවන් 502 දෙනෙකුගෙ සහභාගිත්වයෙන් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ: සමීක්ෂණයට ලක් වූ කාන්තාවන් 10 දෙනෙකුගෙන්  තිදෙනෙකු  (30%) අන්තර්ජාලය ඔස්සෙ අපයයෝජනයට හිරිහැරවලට ලක්ව ඇති බවයි.  මෙසේ අපයයෝජනයට ලක් වූ බව පැවසූ අයගෙන් අඩක් (47%) වයස අවුරුදු 18 සිට 24 දක්වා විය.

එසේම ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව මේ වසරේ ( 2023 ) මේ දක්වා පුද්ගලයින් හැත්තෑපස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.  එසේම 2023 වසරේ මේ දක්වා සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 1817 ලැබී ඇති බව ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී ජයනෙත්සිරි මහතා පවසයි. එසේම සමාජ මාධ්‍ය ප්‍රචාරණය සිදු කරන ලද මූල්‍ය වංචා සිද්ධීන් 108  වාර්තා වී ඇති අතර  පසුගිය වසර දෙක හමාර තුළ පැමිණිලි  9000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව එම අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 මේ අනුව සයිබර් ලෝකයේ සැරිසරන කාන්තාව නොවරදවාම තමා ආරක්ෂාව සලසා ගත යුතුය. එසේ නම් පුද්ගලික තොරතුරු සමාජ මාධ්‍යවල බෙදාගත යුත්තේ ප්‍රවේශමිනි. එසේම නැවත පැමිණ ඔබව අපහසුතාවයට පත් කිරීමට ඉඩ ඇති ඡායාරූප වීඩියෝ තොරතුරු සමාජ මාධ්‍ය වල බෙදාගත යුත්තේ ප්‍රවේශමිනි . එසේම ඔබගේ මුරපදය ශක්තිමත් විය යුතු අතර කිසිවෙකු සමග බෙදා නොගැනීමට ද නිතර නිතර ඔබගේ මුරපදය වෙනස් කිරීමට ද කටයුතු කළ යුතුය. එසේම ඔබට අන්තර්ජාලයෙන් මුණගැසුනු පුද්ගලයකු මුණ ගැසීමේ දී ප්‍රවේශම් විය යුතු සේම නොදන්නා අයගේ මිතුරු ඉල්ලීම් බාර නොගැනීමටත් ඉන්බොක්ස් මැසේජ් දමමින් හිරිහැරයක් වන පුද්ගලයින් අවහිර කිරීමටත් කටයුතු කළ යුතුය. එසේම ඔබේ පරිගණකය ඔබෙන් බාහිර පුද්ගලයෙකුට ඇතුළු විය නොහැකි ලෙස තැබිය යුතු සේම හැකි සෑම විටම සාක්ෂි සටහන් කර ගත යුතුය.

 මේ අනුව  සමාජය තුළ කාන්තාවක් ලෙස ඔබට සයිබර් ලෝකෙන් එල්ල වන පීඩාව සුළු පටු නොවන බව පැහැදිලි ය. නමුත් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබ අප අද ගන්නා තීරණය හෙට අප ජීවත්වන සමාජයේ කාන්තාවන්ගේ ආරක්ෂාව තීරණය කරනු නොඅනුමානය.


සටහන – අමන්දි ධර්මරත්න, පළමු වසර, නීති පීඨය

Leave a comment