සෙනෙහසේ නෑගම් අගෝස්තු මස සංචාරය

 කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ Rotaract සමාජයෙන්  “සෙනෙහසේ නෑගම් ” ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් මෙම අගෝස්තුවේ අපි නෑගම් ගියේ, හෙට ලොව දිනන්නට  වෙර දරන පුංචි මල් කැකුලු රැසකට සෙවන සලසන, නාරාහෙන්පිට ශිල්ප ළමා මධ්‍යස්ථානය වෙතටයි.

එය ඉතාමත් පිළිවෙළ, ප්‍රසන්න ළමුන්ට සුදුසු පරිසරයකින් යුතු ස්ථානයක් බවට අපට ඇතුළු වන විටම පෙනී ගියේය. ළමුන්ද ඉතා ආචාරශීලී පිරිසක් වූ අතර කාර්යක්ෂම එමෙන්ම දෙනික දින චර්යාවකට හුරු වූ බව දැන්වීම් පුවරුව මත දිබූ කාලසටහන සාක්ෂි දරන ලදී. එහි ඔවුන්ට ආගමික කටයුතු වල යෙදීමට හා අද්‍යාපනික කටයුතු වල යෙදීමට පමණක් නොව රූපවාහිනී නැරඹීම, ගුවන්විදුලි ඇසීමට පවා වෙලාවක් වෙන්ව තිබුණි.

ළමුන් මෙන්ම එහි පාලිකාවන් ද ඉතාමත් සුහදශීලී වූ අතර සිනහ මුසු මුහුණින් අප පිළිගත් ඔවුන්, මෙම දරුවන් සමග සිනහව, දයාව, කරුණාව බෙදා ගනිමින් සොඳුරු සන්ද්‍යාවක් ගත කිරීමට ගත් තීරණය අගය කරන්නට විය.

පළමුව  අප එම  පොඩිතතන් හා එකිනෙකා හදුනාගනිමින් සිනහවෙන් පිරි මොහොතක් ගත කළෙමු. ඔවුන් අද්‍යපනික කටයුතු වලට මෙන්ම ක්‍රීඩා, නර්තනය, ගායනය ආදී ක්‍රියා වලටද දක්ෂකම් පෑ පිරිසක් බව එවිට අපිට වැටහී ගියේය. පසෙක තිබූ වීදුරු අල්මාරිය තුල තිබූ සම්මාන පදක්කම් ආදියද මේ බව තවදුරටත් තහවුරු කළේය.

ඉන්පසු අප ඔවුන් සමග සෙල්ලම් කරමින්, ගීත ගායනා කරමින් හා නර්තනයේ යෙදෙමින් ඉතාමත් විනෝදාත්මක සන්ද්‍යාවක් ගත කළෙමු. මේ සොඳුරු මොහොත අපව ද මොහොතකට අපගේ ළමා කාලයට රැගෙන යාමට සමත් විය.

මෙම දිනය නීති පීඨ Rotaract සමාජයේ අපට නවමු අත්දැකීමක් වූවා මෙන්ම එම දරුවන්ට ද  ඉතා සතුටුදායක සන්ද්‍යාවක් වූ බව ඔවුන්ගේ සිනහ පිරි මුහුණුවලින් පසක් විය. අප ඔවුන්ගෙන් සමුගත්තේ මෙවැනිම දිනයක නැවතත් හමු වීමේ පොරොන්දුවත් සමගින් ය.

Penned  by : Rtr. Dahamvi Gunasekare

Leave a comment