හිත් වල කෝ ආදරේ???

ආදරේ නම් උත්තම ගණයේ මානුෂීය හැඟීම මෙයයි කියා නිර්වචනයට සමත් වූ උගතෙක්වත්, මහත් වූ ප්‍රේමණීය ආත්මයක්වත් නැත. එහෙයින්ම දුරාතීතයේ සිටම අදටත් මතුවටත් ආදරය ගැන කවි ලියන්නෝ, අදහස් දක්වන්නෝ දහස් ගණනින් තම තමන් ගේ නිර්මාණයන් ආදරයෙන්ම පුරවනු ඇත .
ආදරය යන මානව හද සන්තානයේ හටගන්නා අතිශය සංවේදී හැඟීම් සමුච්චය පිළිබඳව ඔබට මට විවිධ වූ කතා අත්දැකීම් නම් තිබිය හැකිය. නමුත් මිනිස් හද සන්තානයට දැනෙන්නා වූ සුන්දරතම හැඟුම ආදරයයි මම පවසමි. මන්ද ආදරය තුළ නිසගයෙන්ම ගැවැසී ඇත්තේ පරාර්ථකාමීත්වයයි .ආත්මාර්ථයෙන්ම මුදුන්පත් කරගෙන ඒ වෙනුවෙන්ම වෙහෙසී වැඩ කරන හුදී මානව සිත් සතන් තුළ පරාර්ථය මුසු හැඟීමක් උත්පාදනය වන්නේ නම් ඒ තුළ ආදරය නම් මිහිරිම සංකල්පයෙහි බිජුවට පැළවී තිබෙනු ඇත .

ඉතින් එවන් වූ පරාර්ථයෙන් පිරි සුන්දරතම මානව හැඟීම මේ ජීවිත කාලය තුළ ඔබට මට විවිධ වූ පරිමාණයෙන් සමීප වී තිබෙනු ඇත .

නෙලා ගැනුමට නොහැකි වූවද
අත්හැරීමත් නොවෙයි ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවට සිරකිරීමය.
-නාරද විජයසූරිය-

සමහරෙක් ආදරයෙහි අතිශය සුන්දර යැයි පවසන්නේ එය හිමිකර ගෙන ළඟ තබා ගැනීම නොවේ. ඒ ආදරයෙහි මා කියූ පරාර්ථකාමීත්වයෙහි සුන්දරතම තවත් එක් පැතිකඩකි.

මල් පිපුනත් නැතත්
ලෝකයට රිසියට
මං හිටියත් නැතත්
ළඟින් මේ අහස යට
නිම්නයක් හෝ මිටියාවතක නතරව
සබඳ සිනාසිය යුතුව ඇත .
-බොහෝ කවි ලියවුනේ ඔබටයි-

උක්ත පදවැල තුළින්ද හරි අපූරුවට විද්‍යමාන වන්නේ ද ආදරෙහි පවත්නා සුන්දරතම ප්‍රකාශනයකි. ජීවිතය බෙදා ගෙන හිනාවන්නට මෙන්ම දරා ගන්නට බිලියන ගණනක් වූ මිනිස් සමාජය අතරින් මා ඔබම සොයා ඇවිත් ඔබ අසල ඇඳි ගන්නේ ආදරේ නාමෙනි. එවන් වූ සුන්දර සුන්දර මිනිස් ප්‍රාණයකුගේ ප්‍රාණියෙක් ඔබ අසල සිටින්නේ නම් මදක් නතර සිතන්න වේගයෙන් දිව යන මේ ලෝකය තුළ ඔබ ලද එවන් හමුවීම කෙතරම් නම් භාග්‍යවන්තද බව. ??

ඉතිං,
ආදරවන්තයින්ට මොකටද දින?
ආදරේ කියන්නෙම හැම දවසක්ම නේද ?

පෙබරවාරි 14 කියන්නේ කැලැන්ඩරේ තවත් එක දවසක් විතරයිද??
වෙනදා වගේම ඔබේ දෛනික දින චර්යාවට ම යටවුණු තවත් එක ඉලක්කමක් සහිත දිනයක් ම විතර ද???

තම තමන්ගේ මහත් වූ වෙහෙසකර දවස් තුළ ඔබට ඔබ වෙනුවෙන්ම පෙනී හිඳිමින් ,ඔබ අසලම රැඳී සිටිනා ආදරණීය මිනිසුන් වෙනුවෙන් මදක් නතරව සෙනෙහෙබර සිතකින් සිනාසී එකී ආදරණීය රැඳී හිඳුමන් ,කැප කිරීම් වෙත මොහොතක් හෝ කෘතඥ පූර්වකවීමට හැකිනම්; පෙබරවාරි 14 කියන්නෙත් අවුරුද්දේ තියෙන ලස්සනම දවසක්!!!

රැවුලක් වැව්වට චේ ගුවේරා වගේ
මත්වී හිටියට බොබ් මාලි වගේ.
හිත්වල කෝ බං ආදරේ
හිත්වල කෝ බං ආදරෙ

ඉතින් මට අනුවනම් පෙබරවාරි 14 කියන්නේ ආදරණීය ම සිත් සතුටු වෙන සුන්දර දවසක් ❤

Penned by : Rtr. Sehanthi Dilakna

Leave a comment