“මේ මොකද?”
“ඇයි ඔයා ඇදේ නිදා ගත්තේ??”
“ඇදේ නිදා ගන්න එපා කියල කවුරුත් ඔයාට කියල දීල නැද්ද?”
“මේ පැදුර අරගෙන බිම නිදා ගන්න.”
“කවුරුවත් හම්බවෙන්නවත්, එළියට යන්නවත්, එපා!”
“ඔයා පාවිච්චි කරපු හැම දෙයක් ම, මේ පැදුරත්, ගලන් යන වතුරෙන් විතරක් හෝදන්න.”
“ඔයාගෙ ඇදුම් අනිත් අයගෙ ඇදුම් වලින් අයින් කරල තියන්න.”
“ඔහොම කරල දෙවියන්ගෙ කෝපය අවුස්සන්න හදන්න එපා.”
– The great Indian kitchen (2021) –
මේ, සාම්ප්‍රදායික දකුණු ආසියාතික දෘෂ්ඨියෙන් මිදී ගෘහස්ථ කාන්තාව පිළිබඳව ප්‍රගතිශීලී දෘෂ්ඨියකින් බලන්නට හුරු කළ ඉන්දියානු චිත්‍රපටයක, ඔසප් වීම සම්බන්ධයෙන් මෙකී නිවැසියන් මුලදී දැක්වූ ආකල්පය පිළිබිඹු කරන සංවාද කොටසකි.
………………………………………………………………
මිනිසුන් විලි වසා ගැනීමට ඇදුම් අදින්නේ යම් සේ ද, එපරිද්දෙන් ම සනීපාරක්ෂක තුවා බහා ලූ ඇසුරුම පවා බ්‍රවුන් පේපර් කොළයක ඔතා ඊටත් උඩින් තවත් පොලිතීන් කවරයක දමා විකිණීමෙන් ම ‘ඔසප් වීම’ යන කාරණය විශේෂයෙන් ම පීතෘමූලික දකුණු ආසියාතික සමාජය තුළ අතිශයින් ලැජ්ජාවට හේතු වන කාරණයක් බවත්, ප්‍රසිද්ධියේ කතාබහට නොගන්නා මාතෘකාවක් ය’ යන කාරණය ත් ඔබට සහ මට පැහැදිලි ය.
ඔසප් වීම පිළිබඳ ඉහත කී ආකල්ප ක්‍රමයේ පාදම බිහි වී ඇත්තේ මෙසේ ය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ‘කුටුම්භය’ නමැති ඒකකය තුළින් සාමාන්‍යයෙන් නම් ඔසප් වීම් පිළිබදව නිසි අධ්‍යාපනයක් ලබා දීමක් සිදු නොවේ. බොහෝ මිශ්‍ර පාසල් වල විද්‍යාව විශයට නියමිත ප්‍රජනනය පාඩමේදී පවා මෙකී ඔසප් වීම පිළිබදව පැහැදිලි අයුරින් උගන්වන්නට ගුරුවරුන් ද ඇතැම් විට මැලිකමක් දක්වයි. ගුරුවරුන්ගේ ද මනසට මෙම ආකල්ප හිමි වන්නට ඇත්තේ ඔවුන් ද හැදී වැඩී ඇති පසුබිම් හරහා විය හැකි ය. එබැවින් ඔසප් වීම පිළිබද නිශේධනීය හැගීම පසෙක ලා එය සාමාන්‍ය, ස්වභාවික මනුෂ්‍ය ක්‍රියාවලියක් බව සිතන්නට පොළඹවන්නට නම්, නිසි ලිංගික අධ්‍යාපනයක් කුඩා කල සිට ම පවුල තුළින් සහ පාසල තුළින් ලබා දීම වටී.
ගසක නම් ඵල දරන්නට මල් පිපිය යුතුවාක් මෙන්, සාමාන්‍යයෙන් වයස අවුරුදු අටේ සිට පහළව දක්වා කාලය තුළදී ගැහැණු ළමයෙකු වැඩිවිය පැමිණීමෙන් සනිටුහන් කරන්නේ ගැබ් ගැනීම සදහා ශරීරය සූදානම් කර ගැනීමයි. මෙහිදී ඩිම්බකෝෂ, දවස් විසි අටකට වරක් සාර්ථක එක් වීමක් බලාපොරොත්තුවෙන් සජීවී බීජයක් පිට කිරීමක් සිදු වේ. එසේම යුක්තානුවක් පිළිගැනීමේ සූදානමින් කළලයක් වර්ධනයට සුදුසු පරිසරයක් ද ගර්භාෂය තුළ නිර්මාණය වීමක් ද සිදු වේ. එසේ ගැබ් ගැනීමක් සිදු නොවුණහොත්, එනම් ශුක්‍රාණු ඩිම්බයක් සංසේචනය කිරීමට අසමත් වූ විට, ගර්භාෂ පටලය බිඳ වැටී, එය ශරීරයෙන් පිටතට මුදා හැරෙයි. මෙකී රුධිරය, පටක සහ අනෙකුත් ද්‍රව්‍ය පිට ව යන්නේ යෝනි මාර්ගය හරහා ය. එබැවින්, විද්‍යාත්මකව ම ගත් කල මෙසේ මාසික ඍතු හුවමාරුවකදී රත් පෑ මල් පිපීම, වැඩිවිය පත් වූ සහ තවම ආර්ථවහරණය සිදු නොවූ සෑම කාන්තාවකට ම පාහේ පොදු වූ කාරණයක් බව ද, ලැජ්ජාවට පත් නොවිය යුතු කාරණයක් බව ද සිහි කළ යුතු ය.
ඔසප් සමයේ සිදු වන අපහසුතා පිළිබඳව සාකච්ඡා කිරීමේ දී, ඔසප් චක්‍රයක් ආරම්භ වීමට සති දෙකකට පෙර සිට ම කාන්තාවකට ඔසප් වීමේ රෝග ලක්ෂණ මතු විය හැකිය. Premenstrual Syndrome (PMS) යනු එයයි. කුරුලෑ ඇතිවීම, මනෝ චලනයන් නින්ද නොයාම සහ හයිපර්සොම්නියාව, හිසරදය සහ තෙහෙට්ටුව, උදරයේ කැක්කුම, පියයුරු කැක්කුම, බඩ ඉදිමීම, මස්පිඩු වේදනාව, කොන්දේ වේදනාව වැනි රෝග ලක්ෂණ ඒ අතර ප්‍රධාන වේ. මේ තත්වයන් සමනය කර ගැනීම සඳහා මේදය, ලුණු, සීනි, කෝපි සහ මධ්‍යසාර භාවිතය සීමා කිරීම වැනි ආහාර වෙනස්කම් සිදු කිරීම, නිතිපතා ව්‍යායාම සහ අභ්‍යාස කිරීම, තාප චිකිත්සාව සහ නිර්දේශිත ඖෂධ ලබා ගැනීම ආදිය සිදු කළ හැකිය.
නමුත් සාධාරණ මනසකින් සිතිය යුතු කාරණය නම් මෙබඳු වේදනාවක් උසුලන දිනයන් වලදී පවා සමාජය විසින් එකී කාන්තාවට ලබා දෙන්නේ ‘කිල්ල’ යන ‘සැළකිල්ල’ වීමයි. “එක්තරා කාලයයන මිනිසුන් විසින් මළ කඳක් හෝ මළ මූත්‍ර අත ගෑම අපිරිසිදු කමක් යැයි සළකන චාරිත්‍රයක් පැවතුණි. මාසික ඔසප් වීම පවතින කාල වලදී ඉන්දියාවේ මිනිසුන් කාන්තාවන් ගැන සිතුවේද ඒ ආකාරයට ය.” යනුවෙන් මහාචාර්ය අර්වින්ද් ශර්මා පවසා ඇත. ලංකාව තුළ ආර්ථව දිනයන්හිදී කාන්තාවගේ තත්වය සළකා බැලූ විට, ඔවුන්ට එවන් දින වලදී පන්සලක උඩ මලුවක්, දේවාලයක් වැනි පූජනීය ස්ථාන වලට යාමට අවසර නැත්තේ ය. එහෙත් මෙපරිද්දෙන් සිදු කිරීමට තරම් ඔසප් වීමකදී වහනය වන රුධිරය අපිරිසිදු නැත්තේය. එහි යෝනි ද්‍රාවණ සහ ගර්භාෂ පටලය ගැලවීම මගින් පිට වන සෛල සහ ද්‍රාවණයන් අඩංගු වුවද එසේ පිට වන රුධිරය අපගේ ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන්හි ඇති රුධිරයට සමාන වේ. එසේනම්, සිරුරේ වෙනත් තැනක, රුධිරය ගලන තුවාලයක් සහිතව පූජනීය ස්ථාන වලට ඇතුළු වීම බාධාවක් නොවුණද, සාමාන්‍ය රුධිරය ම ගලන ඔසප් සමයේදී පමණක් මෙසේ තහංචි පැමිණවීම ගැටළු සහිතය.
දැරිවියක් වැඩිවිය පැමිණි සැණින්, යළි නැකැත් එළඹෙන තුරු මත්, ඉන් මතුව යළි ඔවුන්ට ඔසප් වීම සිදු වන කාල වකවානු වලදීත්, දරුවාට මාංශ සහිත ආහාර ලබා නොදීමට කටයුතු කිරීමත්, ශරීරය පිරිසිදු කර ගැනීමට ඉඩකඩ ලබා නොදීමත් අනෙක් කාරණයන් ය. මෙසේ හෙළා දැකිය යුතු යමක් හෝ සැමරිය යුතු යමක් ඔසප් වීමෙහි නැත්තේ ය. සිදු කළ යුත්තේ ආර්ථව සමයේදී වඩාත් පිරිසිදුව සිටීමත්, මෙය වර්ධන අවධියක් වන නිසාවෙන් මස්, මාළු, කිරි, බිත්තර ආදී ප්‍රෝටීන් බහුල පෝෂණීය ආහාර ලබා දීමත් ය.
ඔසප් සමයේදී සෞඛ්‍ය සම්පන්නව සිටීම පිළිබඳ ව අපි දැන් සාකච්ඡා කරමු. ඔසප් දින වලදී දිනපතා ස්නානය කිරීම, පිරිසිදු යට ඇදුම් ඇදීම ආදිය වැදගත් වේ. ඔසප් සමය තුළදී රුධිරය උරා ගැනීම සඳහා සනීපාරක්ෂක තුවා, පිරිසිදු රෙදි, ටැම්පෝන්, ඔසප් කෝප්ප අතරින් පහසු යමක් තමන්ගේ කැමැත්ත අනුව තෝරා ගත හැකිය. නමුත් මෙහිදී ඔබ භාවිතා කරන්නේ සනීපාරක්ෂක තුවා නම් ඒවා පැය හතරකට වරක් වත් මාරු කිරීම, රෙදි කැබලි නම් ඒවා පිරිසිදුව සෝදා හොඳින් වියළා ගැනීම, ටැම්පෝන් නම් ඒවා ක්‍රමවත් අයුරුන් මාරු කිරීම, ඔසප් කෝප්ප නම් ඒවා පිරිසිදු කිරීම ආදිය සිදු කිරීම වැදගත් ය. මෙබඳු සනීපාරක්ෂක උපකරණ මාරු කිරීමට පෙර සහ මාරු කිරීමෙන් අනතුරුව දෑත් පිරිසිදුව පිරිසිදු කර ගැනීම වැදගත් ය. එසේ ම ඒ භාවිතා කරන ලද සනීපාරක්ෂක ද්‍රව්‍ය නිසි ලෙස බැහැර කළ යුතුය. මෙහිදී ඒවා වැසිකිළි වලට බැහැර කිරීම නුසුදුසු ය. ඔසප් දින වලදී හුස්ම ගැනීම පහසු වන පරිද්දෙන් තරමක් සැහැල්ලු, කපු යට ඇදුම් ඇදීම වඩාත් සුදුසු ය. ඒ, හිර යට ඇදුම් ඇදීම හරහා ශරීරය ඇතුළත තෙතමනය හා උණුසුම පිටත නොයන බැවින් ඒ ප්‍රදේශ ආශ්‍රිත ව විෂබීජ වර්ධනය විය හැකි බැවිනි. ඔසප් සමයේදී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු ව තබා ගැනීම ද ඉතා වැදගත් කාරණයකි. එම ප්‍රදේශය පිරිසිදු ජලයෙන් සෝදා, තෙතමනය ඉවත් වීම සඳහා හොඳින් පිස ගත යුතු ය. යෝනිය වනාහී ස්වයංව පිරිසිදු වීමට හැඩ ගැසුණ ඉන්ද්‍රියක් වන නිසා ස්වාභාවික pH අගය වෙනස් වන පරිද්දෙන් රසායනික ද්‍රව්‍ය ආදිය භාවිතා කොට ඒ ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම නොකළ යුත්තේ ය. මීටත් අමතරව ඉහතින් ද සඳහන් කළ අයුරින් ම පෝෂණීය ආහාර වේලක් ගැනීම ද, දියර වර්ග වැඩි වශයෙන් පානය කිරීම ද මේ දිනවල දී සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා උපකාර වේ.
වැඩිවිය පත් වූ මුල් කාලයේදී නම් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සාමාන්‍යයෙන් සිදු විය හැකි ය. නමුත් යම් කිසි අයෙකුට ඔසප් කාලය තුළදී පැය දෙකකට වරක් වත් සනීපාරක්ෂක තුවා මාරු කිරීමට සිදු වන පරිද්දෙන් අධික ව රුධිරය පිට වන්නේ නම්, දින හතකට වඩා රුධිරය පිට වන්නේ නම්, ඔසප් වීම මාස කිහිපයක් ප්‍රමාද වන්නේ නම්, ඔසප් වීමට පෙර හෝ පසු දරා ගත නොහැකි වේදනාවක් හට ගන්නේ නම් හෝ, ආර්ථව චක්‍රය අතරතුර වරින් වර රුධිරය පිට වන්නේ නම් වෛද්‍යවරයෙකු හමු වීම සිදු කළ යුතු ය. ඔසප් වීමෙහි අවසානය සාමාන්‍යයෙන් අවුරුදු 45-50 ත් අතර කාලයේදී සනිටුහන් වේ. ආර්ථවහරණය යන වචනය ඒ සඳහා භාවිත වේ. ඒ අතරතුර කාලයේදී ඔසප් වීම් හේතුවෙන් පාසල් නොපැමිණීම, රැකි රක්ෂා වලට වාර්තා නොකිරීම ආදිය ලාංකික සමාජය තුළ බහුලව දක්නට ලැබෙන කාරණයන් ය. UNICEF අධ්‍යයනයකට අනුව ද, ශ්‍රී ලංකාවේ දෙමව්පියන්ගෙන් 60% ක් ඔසප් කාලය තුළ තම දියණියන් පාසල් නොයවන බව වාර්තා වී ඇත. එබැවින් අවසාන වශයෙන් ද අප මතක තබා ගත යුත්තේ ඔසප් වීම යනු සමාජ අපකීර්තියට සහ අවමානයට ලක් වීමට කාරණයක් නොවන බවයි. ඔසප් වීම පිළිබඳව සමාජයේ පවතින දුර්මත හා මිථ්‍යා මත බැහැර කොට ඒ පිළිබඳ නිසි දැනුවත්භාවයක් ලබා ගතහොත් මේ තත්වය මග හරවා ගත හැකි බව පැහැදිලි ය. දැඩි ශරීර අපහසුතාවයක් නොමැති නම්, සාමාන්‍ය දිනයක් සේ සළකා ව්‍යායාම කිරීම, රැකියා කටයුතු වල නියැලීම, අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම, මිතුරන් හමුවීම ආදිය සිදු කිරීමට ඔසප් භාවය කිසිසේත් ම ගැටළුවක් කර ගත යුතු නැත. ඉතින් අපගේ මේ වෑයමෙහි අරමුණ ද ඔබගේ එවන් රතු දවස් වලදී පවා රතු නොව, කොළ කාඩ් ලබා ගෙන නිදහසේ ක්‍රීඩා කරන්නට ඉඩ හසර ඔබට ලබා දීම ය.
Penned by : Rtr. Lakshika Sooriyarathna


