තොරණක මුවදොර

මම ඇය මරා දැමුවෙම් ද?
නැත. සිදු වූයේ එය නො වේ. ඒ වූ කලී ඉතා ස්වභාවික සංසිද්ධියකි.

“මානවයා” ලෙස හැඳින්වෙන සත්ත්ව වර්ගයාගේ පැවැත්ම සඳහා, ප්‍රජනනය උදෙසා සොබාදහම විසින් තිළිණ කරන ලද ලිංගික ප්‍රේරණයට සාහසික මුහුණුවරක් දිය නො හැකි ය. එහි පවතින්නේ මරණයේ කළුඅඳුර නොවේ. ඇය මෙන්ම මා ද අයත් වන්නේ මානව නම් වූ සත්ත්ව විශේෂයට ය. අප හමුවුයේත්, හදවතින් බැඳුණේත්, කායිකව එක්වූයේත් ඒ අනුව ය. එය “මිනීමැරුමක්” ලෙස නිර්වචනය කළ හැකි නො වන්නේ එහෙයිනි.

හුදු අහම්බයක් වූ ඒ සිදුවීමට මුල පිරූ ඇගේ ද අනුදැනුම හා අනුමැතිය ඇතිව මිස හුදෙක් මගේ ඕනෑකමට ම නො වේ. මා මගේ සිත අස්වසා ගන්නේ එක අතකින් අත්පුඩි ගසන්නට බැරි බව කොතෙකුත් මතක්කර ගනිමිනි. එහෙත්…? එය විත්තියේ පාපොච්චාරණයක් පමණක්දැයි මට නිසැකව ම කිව හැකි නැත.

ඒ සිදුවීමට මුලපිරුණේ එක් වැසිබර දිනක ය. අඳුරු සවස් වරුවක ය. අඳුර නිෂේධනාත්මක දෙයකැයි වැඩිදෙනෙකු සිතතත්, බොහෝ විට මා නව ජීවනයක් ලබා ඇත්තේ අන්ධකාරය තුළ ය. මගේ ලෝකය විදාරණය වන්නේ, අවදි වන්නේ ගොම්මනෙහි යයි කීම නිබොරුවකි.

ඒ අන්ධකාර සැදෑවෙහි මම මගේ හුදකලා කුටිය තුළ නිහඬ කල්පනාවක ගැලී සිටියෙමි. ඇය මගේ රාත්‍රී ආහාරය ද අතැතිව කවුළු දොරින් එබී බැලුවේ ඒ මොහොතේ ය. භික්‍ෂූන් වහන්ලාට දානය සැපයෙන පළංඟානමකට සමාන බඳුනක බතුත්, වෑංජනත් බෙදා කුඩා බෙලෙක් පිඟානකින් එය ආවරණය කර තිබූ අයුරු දැනුදු මට සිහි වේ. කවදත් මගේ රෑ බත සැපයුණේ ඒ ආකාරයට ය. වෙනස වූයේ, වෙනදා එය රැගෙන එන මව වෙනුවට ඒ ගොම්මන් වේලාවේ දී සිදුවූ දියණියගේ ආගමනයයි.

ජීප් රියෙන් වනඅඩවිය පුරා සංචාරයේ යෙදුණ බොහෝ අවස්ථාවල දී මම ඇය දැක ඇත්තෙමි. ඒ සෑම අවස්ථාවකම පාහේ ඇගේ හිසමත වුයේ මිටියකට බැඳ තිබුණ දරකෝටු රැසකි. ජීප් රථයේ නලාව හඬවමින්ම මා ඇයට විහිළුවක් කර සිනාසෙන විට ඈ වහා ඉවත බැලුවා ය. මා සමඟ ඇය හාපුරා කියා සිනාසුණේ එවැනි දින ගණනාවක් ඇවෑමෙනි. ඉනික්බිතිව අපි යහළුවන් බවට පත්වුණෙමු.

ඇය මා ඇමතුවේ “කැලෑ මහත්තයා” කියා ය.

ඇය ‘සඳා’ වුව ද මම ඇයට ‘සුදා’ යි කීවෙමි. මා ඒ අයුරින් ඇය ඇමතුවේ ඇගේ ඡවි කළ්‍යාණය නිසා ද? නැතහොත් දශක තුනකට පෙර ලියැවුණ ප්‍රේමගීත-විශේෂයෙන් චිත්‍රපට ගීත සඳහා එය සුලබව යොදා ගැනුණ ඇමතුමක් වූ නිසා දැයි නො දනිමි.

‘සඳා’ ට මා ආලය කළේ දැයි මා තවමත් දන්නේ නැත. ‘ආලය’ යනු සදාකාලික තත්වයක් ලෙස නිර්වචනය නො වන්නේ නම් මා ඇයට ආලය කළේ යැයි කීමේ ද වරදක් නො වේ. මා එසේ කියන්නේ පසුකලෙක මා තුළ ඇය කෙරෙහි හටගැනී තිබූ හැඟීම ආලයකට වඩා බියකට ළං වූවක් වන නිසා ය. කෙසේවුවද වන සංරක්‍ෂණයේ යෙදුණ නිලධාරියකු වශයෙන් මා මගේ මුල්ම පත්වීම ලද ඒ යුගයේ දී නම් සැබැවින් ම මම ඇයට පෙම් කළෙමි. එහෙත් දැන් එය තිස්වසරක් සපිරූ අතීතයකි.

‘සඳා’ යන නම ඇසීමෙන් පවා මා තුළ තැතිගැනීමක් හටගැනීම ඇරඹුණේ කවදා සිට දැයි මට නිශ්චිතව කිව නො හැකි ය. කෙසේ වෙතත් මා ස්ථාන මාරුවක් ඉල්ලා දෙපාර්තමේන්තු ප්‍රධානියාට ලිපියක් ලිවීමට සිතුවේ ස්වාභාවික නොවන ශාරීරික වෙනස්කම් කිහිපයක් තමා තුළ හටගැනෙමින් පවතින බව සඳා මට දැනුම් දීමෙන් අනතුරුව බව මට මතක තිබේ. ස්ථාන මාරුවීම් විෂයෙහි දේශපාලනමය මැදිහත්වීම් අසීමිත ලෙස සිදු නොවූ එකල, මට මොණරාගලට මාරුවක් ලැබුණේ නොසිතූ ඉක්මනකිනි.

“මොකක් ද කරන්නේ මාව හදිසියේම කොළඹට මාරු කරලා.” යි මම පසුදාම සඳාට කීවෙමි.

“කැලෑ මහත්තයා අනේ කොහොමහරි ඒක වෙනස් කරගන්න උත්සාහ කරන්නකෝ.” යි සඳා කඳුළු පිරුණ දෙනෙතින් මා වෙත බියපත් බැල්මක් හෙළා කීවා ය.

“මම පුළුවන් තරං මහන්සි ගන්නං.” යි මා පැවසුවේ ඇගේ මුහුණ බලාගෙන නො වේ.
“බැරීම වුණොත් මට යන්න වෙයි.”

මොණරාගලට ගිය මුල් දින කිහිපය තුළ කිසියම් හෝන්දු මාන්දු භාවයක් මගේ සිතට දැනෙමින් තිබිණ.
මට මඳ සහනයක් සැලසුණේ මගේ කරෙහි වූ රන්දම්වැල් පටෙහි බර හා එහි වටිනාකම සිහියට නැගුණ විට ය. සමුගන්නා දිනයේ එය සඳාට තිළිණ කරන්නට තරම් මම පරිත්‍යාගශීලී වුණෙමි.

එදා පටන් මේ වන තුරු මට කිසිදිනෙකත් සඳා හමු වූයේ නැත. ඉන් අනතුරුව සිදු වූ කලබැගෑනි හේතුවෙන් මට ඇය මුළුමණින්ම අමතකව තිබිණි. නැතහොත් මා මෙතෙක් සිතා සිටියේ ඒ සියල්ල මට සහමුලින්ම අමතක වී ඇතැයි කියා ය. එහෙත් බොඳ වුණ අතීත ස්මරණයන් අළු යට ගිනි මෙන් මිනිසකුගේ අවිඥානයේ තැන්පත්ව පවතී.

මම දැන් පිටකොටුව සෝන්ඩර්ස් පෙදෙසේ පිහිටි මහල් නිවාසයක විශ්‍රාමිකව, හුදකලාව වෙසෙමි. වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ලඝුයතුරු ලේඛිකාවක ලෙස රැකියාව කළ මගේ බිරිඳ මියගියේ අපේ විවාහයෙන් තුන් අවුරුද්දකට පසු උදා වූ එක් කාලකන්නි උදෑසනක ය. ප්‍රථම දරු ප්‍රසූතියට මුහුණ දෙමින් ඇය මෙලොව හැරගිය ඒ අවාසනාවන්ත උදයේ පැහැබර හිරු එළියෙන් අවට ලෝකය ඒකාලෝකව තිබූ බව මට අද ද සිහිකළ හැකිව තිබේ. පෙරටත් වැඩියෙන් අඳුර කෙරෙහි මා ආසක්ත වූයේ, ලොල් වූයේ එදා සිට ය.

මේ ද අඳුර ගලායමින් ඇති රැයකි. එහෙත් අහස් රවුම් සඳක් ද මෝදුවී තිබේ. අද වෙසක් පුර පසලොස්වක් දිනය ය. දිදුලන විදුලි පහන් වලින් ඒකාලෝක වූ නගරය දැන් සුරපුර‍යකි. තුන් මහලේ පිහිටි කුඩා නිවාස ඒකකයේ සඳැල්ලේ හිඳසිටින මම වෙසක් සිරි නරඹමින් පසුවෙමි. නුදුරෙහි ඉදිකර ඇති සැටරියන් පමණ වූ මහා තොරණ රාජයා කිසියම් දේශපාලනඥයකු විසින් විවෘත කරන ලද්දේ ඇසිල්ලකට පෙර ය. කන් අඩි දෙදරවන රතිඤ්ඤා හඬ නෑසෙන සේ මම දෑතින් දෙකන් වසා ගෙන සිටියෙමි. මා දෑත් මුදා හළේ තොරණේ විදුලි බුබුළු දැල්වූ පසුව ය. දැන් ඒ වර්ණවත් විදුලි බුබුළු විවිධාකාර වූ රූ රටා මැවමින් තිබේ. ශබ්ද විකාශන යන්ත්‍රය තුළින් තොරණේ වරුණ කියවීම ද ආරම්භ වී ඇත.

රබන් වයමින් ගැයෙන විරිදු ගායනයට අනුව විස්තර කෙරුණ අංක 1 දරණ චිත්‍රය හා අදාළ පුවතට මා සවන් යොමා සිටියේ එතරම් වුවමනාවකින් නො වේ.

“බඹදත් රජු වන අසිරිය නරඹන්නට යන්නේ
සුමිහිරි ගී ගායනයකි, ඈතින් රැව් දෙන්නේ”
“වන දෙවගන සදිසි රුවකි වනයේ දර කඩනා
පියකරු ඒ යුවතිය වෙත රජුගේ සිත බැඳුණා”

හදවතෙහි සියුම් ගැස්මක් අවදිව නැගෙනු මට හැඟෙයි. මම වඩාත් වුවමනාවෙන් යුතුව ඒ ගායනයට කන් දෙමි. පාරේ කොතෙකුත් යනෙන රථවාහනවල හඬ හා නිමක් නැතිව හැඬවෙන ඒවායේ නලා ශබ්ද අතරේ අතරින් පතර වචනයක් ලිස්සා යන මුත්, ජාතක කතාවේ හැඩතල, එහි අච්චුව මගේ සිතට තදින් කාවැදී යයි.

“දරුගැබ මෝරනු දකිමින් මහරජු සමු දුන්නේ
අරුමෙකි පේරැස් මුදුවයි වන්දිය පිය වන්නේ”

මහල් ගොඩනැගිලිවලට ඉහළින් දිස්වන අහස් ගැබෙහි අනන්ත වූ ස්වභාවය දෙස මම හිස් බැල්මෙන් බලා සිටිමි. මගේ හදගැසීම වේගවත් වී ඇති අයුරක් මට හැඟෙයි. අදිසි බියකින් සැකයකින් වෙළීයමින් මා මතක් කරගන්නට උත්සාහ ගන්නේ අධිරුධිර පීඩනය සඳහා දෛනිකව මට නියමව ඇති ටැබ්ලටය උදේ වරුවේ දී මා ගිලදමුවේ දැයි කියා ය. එහෙත්…? පාතරාසයෙන් අනතුරුව මා එය සුපුරුදු අයුරින් ම ගිලදැමූ බව මට මතක් වෙයි.

විරිදු ගායනය අතරතුර නාට්‍යානුසාරයන් කෙරෙන සංවාදයක හඬ ද අවදිව නැගෙයි. මම නලල පිරීමැද ගනිමින් කල්පනාකාරීව ඊට සවන් දෙමි. බඹදත් රජු විසින් හැරදමනු ලැබූ ගැහැනියගේ අවජාතක දරුවාට මුහුණ දෙන්නට සිදුවන සමාජමය අපවාද පිළිබඳව විරිදු ගායනයෙන් කියවෙන්නේ භාවාතිෂය ලෙසිනි. දරුවා, දුව පැන ඇවිද සෙල්ලම් කරන අතරේ යහළුවන් ඔහුට ‘පියාණැති පුතා’ යි අවලාද නැගූ බවක් ඉන් පළවේ.

කැඩීයන වැල් සහිත වේවැල් පුටුවෙන් පරිස්සමින් නැගී සිටින මම පටු කොරිඩෝව ඔස්සේ ඒ අතටත් මේ අතටත් සක්මනේ යෙදෙමි. සඳාගේ සඳ මුහුණ මට යළි යළි සිහිවෙයි. මම මගේ කරෙහි තිබූ දම්වැල්පටෙහි එදා වටිනාකම ගැන සිතාගන්නට උත්සාහ ගන්නේ පපුවේ තදබද වූ මාංශපේශීන් මදක් ඉහිල් කරගැනීම සඳහා ය. මගේ මතකයට අනුව නම් එහි බර පවුම් තුනකි. ඒ කාලයේ හැටියට එය රුපියල් තුන්දහසක් පමණ මිල විය හැකි

රුපියල් තුන්දහසක්….?
යළිත් වරක් විරිදු ගායනය ඇරඹී තිබේ. දැන් විස්තරවන්නේ පස්වන අංකය දරණ චිත්‍රයේ පසුබිම් කතාව ය.

“කර පින්නාගෙන දරුවා රජ මැදුරට යන්නේ
ගැරහුම් අවමන් පමණකි, ඇය හට අත් වන්නේ”

නලලේත්, ගෙල පෙදෙසේත් සිහින් ඩා බිඳු මතුව නැගෙන්නාක් මෙන් මට හැඟෙයි, වැහි නැති අකුණක් වැනි වූ අළුයට ගිනිපුපුරක් වැනි වූ මතකයක් මා තුළ දැල්වී යයි.

එය සිදු වූයේ මා මොණරාගල ප්‍රදේශය තුළ ගත කළ දෙවසරක සේවා කාලයන් අනතුරුව කොළඹට මාරුවක් ලබා පැමිණි මුල්ම මාසය තුළදී ය.

“සර් හම්බුවෙන ගෑනු කෙනෙක් ඇවිත් ඉන්නවා.” යි මගේ මේසය අසලට පැමිණි රූබන් කීවේ ය.
“ගෑනු කෙනෙක් ” යි ඇසුව ද ඒ ඇය විය හැකි බවට අල්පමාත්‍ර වූ හෝ හැඟීමක්, මතකයක් මගේ සිතට උනා ආවේ නත.

“ඔව් සර්. ගෑනුකෙනෙක්.

මම විපිළිසරව රූබන්ගේ මුහුණ බලාගෙන සිටියෙමි. රාජිකා පිළිබඳ විවාහ යෝජනාව ඒ වනවිට ඉදිරිපත්ව තිබුණ ද යෝජිත විවාහයක මනාලිය සිය අනාගත සැමියා මුණගැසීමට හුදකලාව නො පැමිණෙන බව පමණකි, මට සිහි වූයේ.

“කවුද නම් කිවේ නැද්ද ඉතින්”

“නම ඇහුවා සර්, ” යි කාර්යාල කාර්ය සහයකයා ඇඹරෙමින් කීවේ ය.

“ඇහුවට කිව්වෙ නෑ. පොඩි දරුවෙකුත් වඩාගෙනයි ඇවිත් ඉන්නේ.”

මගේ බිය හා කෝපය සෝඩා බෝතලයක පෙණ මෙන් උතුරා ගියේ ය. මුළු සිරුරම අප්‍රාණික වී සිහින් ඩා බිඳු මතුවනු මට හැඟිණ. කෙසේ වුව ද අන් සියළු හැඟීම් පරයමින් මා තුළ උස්ව නැඟුණේ කෝපය ය.

“නම කියන්න බැහැයි කියනව නං මොන බම්බුවකට ද තමුසේ පණිවඩේ උස්සං මං ළඟට ආවේ” යි මම නො නිමි කෝපයෙන් මුර ගෑවෙමි. බියපත්ව මා දෙස බැලූ කාර්යාල කාර්ය සහයකයාගේ මුහුණේ සාවඥ සිනා රැල්ලක සේයාවක් ඇදී ගියාක් මෙන් මට පෙනුණේ ය.

“ඉතිං තවත් බලං ඉන්නේ ගිහින් කියනවා මං කන්තෝරුවේ නැහැයි කියලා.”

පසු හැරී ගිය රූබන් දොරටුව අසලට පිවිසෙන්ම මම යළි ඔහු ඇමතුවෙමි.

”ඉතින් තමුසේ මෝඩය වගේ කිව්ව ද මං ඉන්නවයි කියලා”

“නෑ සර්.” යි රූබන් බායාදු ලෙස කීවේ ය,

“මං කිවුවේ ඉන්නව ද කියල බලන්නං කියලයි.”

එය රූබන්ගේ අතේ රෝලක් බව හැඟුණ ද ඉන් එහාට මා කිසිවක් කීවේ නැත. අවිනිශ්චිත බියකින් ඇලළුනු සිතැති මම ලිපිගොනුවක් ද රැගෙන අංශ ප්‍රධානියාගේ කාමරය තුළට වැදුණෙමි. අංශ ප්‍රධානියා දිවා කිස සඳහා කාර්යාලයෙන් බැහැරව සිටි නිසා සෑහෙන වේලාවක් මුළුල්ලේ ඒ කුඩා කාමරයේ රැකවරණය ලැබීමට මට හැකි වූවේ ය.

වාසනාවකට මෙන් ඇය රූබන්ගේ පිළිතරෙන් සෑහීමකට පත්ව පිටව ගොස් සිටියා ය. ඇය නික්මුණේ කාර්යාල කාර්ය සහයකයාගේ කතාව විශ්වාස කළ හෙයින් ද? නො එස්නම් තමාශගේ ව්‍යායාමය නිෂ්ඵලත්වය ඒත්තු ගිය හෙයින් දැයි මම නො දනිමි.

වහා ක්‍රියාත්මක වූ මා ඉන් අනතුරුව දින ගණනාවක් යනතුරු මහා මෙහෙයුමක් දියත් කළේ රජයේ වෙනත් අමාත්‍යාංශයකට මාරුවක් සාදාගැනීම සඳහා ය. මා මේ අයුරින් දිගින් දිගට ම ස්ථාන මාරුවීම් ඉල්ලා සිටීමේ අමුත්තක්, රහසක් තිබිය හැකි බව ප්‍රධානීන් සැකකරනු ඇතැයි සිතුණ ද මගේ අවශ්‍යතාව ඊට වඩා බලවත් වුවේ. ය. ස්ථාන මාරුවක් නො ලැබෙන්නේ නම් රැකියාවෙන් ඉල්ලා අස්වීමට තරම් ප්‍රබල වූ ආවේගයකි, එකල මා තුළ පැවතුණේ.

අනතුරුව සියල්ල වියවුලකින් තොරව හිතකර ලෙස විසඳනු ලැබුවේ කාලය විසිනි යි මම සිතමි. ජීවිතයේ මෙන් ම මතකයේ ද සියළු ලපකැළැල් මකා දැමුවේ ද එකී කාලයම ය. රාජිකා සමඟ විවාහවීමෙන් අනතුරුව මා මුහුණ පෑ බරපතල ව්‍යසන හමුවේ සඳා මගෙන් සදහටම සමුගත් බවකි, මට හැඟුණේ.

කොත්තු රොටියකට වේගයෙන් තඩිබාන හඬ සියලු ශබ්ද අභිබවමින් මතුව නැගෙයි. කන් බිහිරි කරවන ඒ හඬ මතුවන්නේ මහල් නිවාස පද්ධතියේ බිම්මහලේ පිහිටා ඇති මුස්ලිමි හෝටලයෙනි. දෙමෝලෙන් පිටි කෙටීමකටද වඩා වේගවත්ව නැගෙන එය සාකල්‍යයෙන්ම සැසඳෙන්නේ මගේ හද ගැස්මටය. තොරණේ නිවෙන දැල්වෙන විදුලි බුබුලු දෙස මම චිත්තාපරව බලා සිටිමි. තද රතු පැහැති විදුලි බුබුලු මගේ දෑස් ගිනිකනා වට්ටමින් තිබේ. මා ඒ දකින්නේ දැල්වී නිවී යන විදුලි පහනින් මතුවන සෞන්දර්යයේ මායාව ද.
තොරණේ අටවන චිත්‍රය පිළිබඳ විස්තර කථනය ඇරඹී තිබේ. ගුවන් විදුලි නාට්‍යයක දෙබස් කියවෙන ආකාරයට අනුව ඓතිහාසික නාට්‍යයක ස්වරයෙන් අවදිව නැඟෙන්නේ රජමාළිගයේ දොරටුපාලයාගේ හඬ ය.

‘ස්වාමිනි, ඔබතුමා බැහැදකින්නට ස්ත්‍රියක් පැමිණ සිටිනවා.”

“ස්ත්‍රියක්?”

“එසේය ස්වාමීනි, ස්ත්‍රියක්.’

“මා හමුවන්නට පැමිණිය යුතු ස්ත්‍රියක් නැහැ. වහාම…?”

“ස්වාමිනි, ඇය… ඇය… පවසනවා ඔබතුමාගේ දරුවා රැගෙන ආ බවක්.”

“මට ඇති දරුවෙක් නෑ, වහාම ඇය පළවා හරීන්න.”

‘තව… තව…. ඔබ වහන්සේගේ මුදුව ගෙන ආ බවකුත්..?”

‘මට ඇති මුදුවක් නෑ. වහාම ඇය පළවා හරින්න.’ යි දොරටුපාලයාට බාධා කරමින් රජු උච්චස්වරයෙන් මොර දෙයි.

කාමරයට පැමිණෙන මම පටු ඇඳ මත වැතිර ගනිමි. රජුගේ හා දොරටුපාලයාගේ දෙබස…? රූබන් හා මා අතර හුවමාරු වූ වචන… ඒ සියල්ලෙහි පවත්නා සමානතාව…? මම විස්මෘත වූ අයුරින් කොන්ක්‍රීට් වහල දෙස බලා සිටිමි. කැරකෙන පංකාවේ පෙති මෙන් එවැනිම වූ වේගයකින් මගේ සිත සසැලෙමින් තිබේ. සංගීත ඛණ්ඩයක් වාදනය වෙමින් ඇත්තේ තොරණේ වරුණ නිම වූ නිසා විය යුතු යයි මට සිතේ. එහෙත් මොහොතකින් සංගීතය නතර වී යළිත් වරක් තොරණේ දසවැනි චිත්‍රය පිළිබඳ විස්තර කථනයක් ගුවනට මුසුව යයි.

ඒ ස්ත්‍රී තොමෝ රජතුමනි, මේ දරුවා ඔබගේ නම් අහසෙහි රැඳේවා. නො එසේනම් බිම වැටී මැරේවා! යි කියමින් දරුවා දෙකකුලෙන් ගෙන අහසට දැමූහ. බෝසතාණෝ අහසෙහි නැගී සිට. මහරජතුමනි, මම ඔබගේ ම පුතු වෙමි. මා පෝෂණය කරනු මැනව. මනුෂ්‍යයෝ තිරිසන් සතුනුත් හදාවඩා ගනිත් නම් ඔබගේ පුත් වූ මා ඔබ විසින් පෝෂණය කළයුතු මනා යැයි කීහ. පුත් කුමරාට අත පෑ රජු, ස්ත්‍රිය අගමෙහෙසි තනතුරෙහි තබා පුත් කුමරුට යුවරජ තනතුර පිරිනැමුවේ ය. බෝසතාණෝ පිය රජු ඇවෑමෙන් ‘කාෂ්ටවාහන’ නමින් රජවූහ. ඒ අපේ ජාතක පොතේ එන කට්ඨහාරී ජාතකයයි.

මම මුණින් අතට වැතිරී කොට්ටය මත මුව හොවා ගනිමි. මා තුළ අවුල් සහගත ප්‍රශ්න ජාලයක් මතුව නැගෙමින් තිබේ. සඳා කට්ඨහාරී ජාතකය දැන සිටියේ ද? දැන සිටියේ නම් එදා කාර්යාලය තුළ දී ඇය දරුවා දෑතින් ඔසවා සත්‍යක්‍රියාවක් කිරීමට ඉඩ නොතිබුණේ ද? එහෙත්….? දරුවකු උඩ විසිකිරීමට තරම් ආත්ම ශක්තියක් ගැහැනියක සතුව ඇත්තේ ද? ඇය සෙනෙහෙවන්ත මවක වූවේ නම් කුඩා දරුවකුගේ ජීවිතය සමඟ අත්හදාබැලීම් කරන්නට යොමුවිය හැකි ද?

මම බියෙන් තැතිගැනී සිටිමි. මගේ සිත බරකරමින් ඇත්තේ විසිපස් වසරකට පෙර උපත ලැබූ ඒ දරුවා ජීවත්ව සිටින්නේ ද? යන පැනය ය. දරුවාගේ ජීවත්වීම පිටුදැකිය නො හැකි සත්‍යයක් ලෙස මා බියපත් කරමින් සිටී.

එහෙත්…?

එය මට තැතිගැනීමට තරම් කාරණයක් විය හැක්කේ කෙසේ ද?

මම උඩුබැල්ලෙන් වැතිර යළිත් වරක් පංකාව දෙස බලමි. තොරණේ වරුණ නිමා වී ශබ්ද විකාශන යන්ත්‍රය අනුවාදනය කරමින් ඇත්තේ මොහිදින් බෙග් ගයන ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ගීතය ය.

“මෛත්‍රී කරුණා දුෂිත වී – ක්‍රෝධය, ඊර්ෂ්‍යා පෝෂිත වී…..
හිංසා පීඩා දේවි දෝ – මිනිසා තිරිසන් වේවී දෝ….”

මම වරදකාරී හැඟීමකින් පාෂාණිභූතව සිටිති. වසර දහස් ගණනකට පෙර සිදුවූයේත්, අද සිදුවෙමින් පවතින්නේත්, හෙට යළි යළි සිදුවන්නේත් එකම දේ දැයි මට සිතෙයි. වෙනසක් නැත. ලෝකය භ්‍රමණය වන්නේ වක්‍රාකාර වූ එකම රේඛාවක් ඔස්සේ ය.

කැත්ලීන් ජයවර්ධන

One Reply to “තොරණක මුවදොර”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: